දිනක් පසේනදී කොසොල් රජු අපේ සම්මා සම්බුදු පිය රජුන්
බැහැ දකින්නට පැමිණි අවස්ථාවක එතැනින් ජටිලයෝ සත් දෙනෙක් ද, නිගණ්ඨයන්
සත් දෙනෙක් ද ආදී වශයෙන් විවිධ වූ තාපස ස්වරූප ඇති පිරිසක් තමන් ලැබු පිරිකර බඩු ද
රැගෙන එතැනින් පේළියට යනවා... ඉතින්, කොසොල් රජු දණක්
නමා අත් එකතු කර මේ පිරිස ට වන්දනා කරමින් “වහන්ස, මම් පසේනදී
කොසොල් රජු වෙමි! වහන්ස, මම් පසේනදී කොසොල් රජු වෙමි!! වහන්ස, මම්
පසේනදී කොසොල් රජු වෙමි!!!” යි තුන් වරක් තමන්ගේ නම ද කියා එ පිරිස ට වන්දනා කලා.
ඒ පිරිස එතැනින් නික්ම ගිය පසු රජතුමා සම්මා සම්බුදු
රඳුන් ට මෙන්න මෙහෙම කියනවා. “වහන්ස, ලොව යම්
රහත් කෙනෙක් හෝ රහත් මඟට පැමිණි හෝ යම් කෙනෙක් වෙත් නම්, මොහු ඔවුන්ගෙන් එක්තරා කෙනෙක් වෙති” යි. ඉතින්, එය
අසා අපේ සම්මා සම්බුදු පිය රජුන් යි මෙන්න මෙහෙම පවසනවා.
“මහ රජාණෙනි, අඹුදරුවන් නිසා හට ගත් සම්බාධ ඇති යහනක් ඇති වැ වසන, කසී වත් හා සියුම් සඳුන් පරිභෝග කරන, මල් ගඳ විලවුන් දරන, රන් රිදී
ඉවසන කාම භෝගී ගිහි වූ තොප විසින් “මොහු රහත් හු ද නොහොත් රහත් මඟට පිළිපන්න නෝ
දැ” යි යන මෙය නො දත හැකි ය. මහ රජාණෙනි, එක් වැ විසීමෙන් වනාහි ශීලය දත යුතු. එ ද දික් කලෙකිනි. මඳ කලෙකින් නො වේ.
එ ද කල හැක්කේ “සිල් පිරිසිඳින්නෙමි යි” මෙනෙහි කරන්න හු විසිනි. මෙනෙහි නො කරන්න
හු විසින් නො වේ. ප්‍රඥා ඇත්තහු විසිනි, ප්‍රඥා
නැත්ත හු විසින් නො වේ. මහ රජාණෙනි, කථායෙන් පිරිසුදු බව දත යුතු. එ ද දික් කලෙකිනි. මද
කලෙකින් නො වේ... ප්‍රඥා නැත්ත හු විසින් නො වේ. මහ රජාණෙනි, විපත් හි දී ඥාන ස්ථාමය දත යුතු. එ ද දික් කලෙකිනි... ප්‍රඥාව නැත්ත හු
විසින් නො වේ” යැ යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
ඉතින්, මෙය අසා ගෙන සිටි රජතුමා ඉතාමත් සතුටට පත් වෙලා “වහන්ස, ආශ්චර්‍ය්‍ය
ය! වහන්ස, අද්භූත ය! රහත් මගට පිළිපන්නෝ දැ” යි මෙය දත නො හැක්කේ
ය. ලෙසින් භාග්‍යවතුන් වහන්සේ වදාළ මේ වචනය ඉතා මැනවින් වදාරන ලද්දේ ය. වහන්ස, මොහු පැවිදි වෙසින් සිට රට වැසියන්ගේ පිණ්ඩ භෝජනය වළඳන මාගේ චරපුරුෂයෝ ය.
මොහු දනව්වල තතු විමසා බලා එති. පළමුවෙන් මොවුන් බැස්ස ඒ පෙදෙසට ඔවුනට පසු ව මම
බස්නෙමි. වහන්ස, ඔහු දැන් දූවිලි මල සෝදා හැර මොනොවට නෑවා හු මොනොවට
විලවුන් දැරුවා හු කැපූ කෙහෙරවුළු ඇත්තාහු, සුදු වන්
හඳින්නා හු පස් කම් ගුණ හා ඇලුණෝ එක් වූවෝ ඉඳුරන් කාම වස්තූන් හි හසුරුවත්”යැ යි කීවා.
ඉතින්, මෙවර කතු වැකිය උදෙසා මේ දහම් කොටස උකහා ගත්තේ වැදගත්
කාරණයක් මතු කර දෙන්නටයි.
ඔබත් අන්තර්ජාලය ඔස්සේ බණ දහම් අසනවා නේ. තමන් රහතන් වහන්සේලා ය... මග ඵල ලාභීන් ය යැයි පවසන
දේශකයන් වහන්සේලා ගේ පටන් ගෙන අන්තර්ජාලය ඔස්සේ පමණක් ම බණ දහම් අසා දේශකයන් මෙසේ
මෙසේ ගුණ දරන උතුමන් යැයි විශ්වාසයෙන් යුතුව පුද්ගල සරණ යනවා නේ නේද? ඉතින්, මේ විදියට
කවදාවත් හමු වෙලා නැති... දීර්ඝ ඇසුරක් පවත්වා නැති... අසා ගත වචන දෙක තුනකින්
තමන් කැමති ආකාරයෙන් යමක් ප්‍රකාශ කල නිසාත්, තමන් නිවන්
මඟ යැයි විශ්වාස කරන දේ, ප්‍රකාශ කල නිසාත් විවිධ වූ ගිහි පැවිදි පුද්ගලත්වයන්
සරණ ගිහින් නිවන් මඟ නොවන ප්‍රතිරූපක දහම් තුල බහුතරයක් පිරිස අසරණ ව ඇති බව දැක
ගන්නට තිබෙනවා.
ඉතින්, සම්මා සම්බුදු රඳුන් හරි අපූරුවට මෙහි පෙන්වා දෙනවා “සිල් පිරිසිඳින්නෙමි යි” අවංක
චේතනා ඇතිව, ඒ වෙනුවෙන් යමක් ප්‍රකාශ කරන්නන් ව දීර්ඝ කාලයක්
නිරන්තරයෙන් කතා බහ කරමින් ප්‍රඥාවන්ත ව ඇසුරු කරන කෙනාට, ඒ
පුද්ගලයා අවංකව ම තමන් ප්‍රකාශ කරන දේ අනුව කටයුතු කරන්නෙක් ද... ප්‍රකාශ කරන දේ
හි ගැඹුර කවරක් ද... තමන්ට යම් විපතක් සිදු වූ අවස්ථාවන් වල දී තමන් ප්‍රකාශ කරන
ධර්මයට අනුව ම කටයුතු කරන කෙනෙක් ද... ආදී වශයෙන් බොහෝ දේ නැණවත් ව විමසා බලා
අවබෝධ කර ගන්නට හැකි වෙනවා කියලා.
එසේ නම් ඔබ සැබෑ ම විමුක්තියක් සොයන්නෙක් නම්, එකවර
යම් පුද්ගලයෙක් කෙරෙහි පැහැදෙමින් ඒ අනුව කටයුතු කරන්නට හෝ විවේචනය කරමින් ප්‍රතික්ෂේප
කරන්නේ හෝ නැතිව තමන් තමන්ගේ පර්යේෂණය පිණිස අවංකව ම කටයුතු කරන්නට දක්ෂ විය
යුතුයි. දේශකයන් වහන්සේලාගේ වැරදි අඩුපාඩු හොයන අරමුණ ඇතිව සවන්
දෙන්නේ නැතිව තමන්ගේ විමුක්තිය පිණිස සවන් දිය යුතුයි. ඉතාමත්
ඉක්මනින් අන්තර්ජාලයේ විනාඩි කිහිපයක බණක් දහමක් අසා ඉක්මන් නිවනක්... ඉක්මන්
විමුක්තියක් සොයන්නේ නැතිව සැබෑ කල්‍යාණ මිත්‍රත්වය හඳුනා ගෙන පයිරු පාසානම්
කරන්නට දක්ෂ විය යුතුයි.
ඒ වගේ ඒ සම්බුදු වදන තුල තිබූ තවත් වැදගත් කාරණාවක් වූ
“ප්‍රඥාවන්ත නැති නම්” ඔබ වසර ගණනාවක් ඇසුරු කලත් හොද්දේ ම බැස ගෙන ඉන්න හැන්ද
හොද්දේ රස දන්නේ නෑ වගේ කල්‍යාණ මිත්‍රත්වය හඳුනා ගන්නට දක්ෂ වීමක් හෝ ප්‍රතිරූපක
හඳුනා ගැනීමට දක්ෂ වීමක් වෙන්නෙත් නැති බව සිහි තබා ගත යුතුයි හොඳේ!
ඉතින්, කලින් දහම් කොටසේ රජතුමා හට අපගේ සම්මා සම්බුදු පියාණන්
වහන්සේ මෙන්න මේ ආකාරයෙන් සැබෑ මහණ කම ගැනත් කෙටියෙන් පෙන්වා දෙමින් උදාන ගාථාවක්
පවසනවා.
“මහණ තෙම
(දූත මෙහෙවර චරපුරුෂ මෙහෙවර ආදි වූ) සියලු ලාමක කම් හි වෑයම් නො කරන්නේ ය.
අනෙකකුගේ සේවකයෙක් නො වන්නේ ය. අන් අධිපති ආදි කෙනෙකුන් ඇසුරු කොට ජීවත් නො වන්නේ
ය. ධර්මයෙන් වෙළෙඳාම් නො කරන්නේ (ධන ආදිය පිණිස බණ නො කියන්නේ ය) ය”.
කල්‍යාණ මිත්‍ර ඇසුර ම ලැබෙත්වා! නැණවත් ව සැබෑ කල්‍යාණ
මිත්‍රත්වය සහ ප්‍රතිරූපක හඳුනා ගැනීමට හැකි ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා
ඉන්ද්‍රිය බල නැගෙත්වා!
මෙවැනි දහම් ලිපි ඇසුර පිණිස "නිර්වාණ ධර්ම" වෙබ් අඩවියට පිවිසෙන්න!
No comments:
Post a Comment