නිර්වාණ ධර්ම බ්ලොග් අවකාශය | Nirvana Dhamma BLOG

About this Blog | මෙම බ්ලොග් අඩවිය ගැන...

"මෙය “නිර්වාණ ධර්ම“ වෙබ් අඩවියට සමගාමීව ඔබ වෙත ලබාදෙන බ්ලොග් අඩවියයි! මෙසේ අවස්ථාවන් රැසක් තුලින් සත්ධර්මය කැටිකොට ලබාදෙන්නේ අතිශයින්ම බුද්ධිමත් සැබෑම මිනිසුන් වෙත පමණයි! ඔබේ ආගම ජාතිය කුලය තත්ව තානාන්තරය කුමක් වුවත් සැබෑම මිනිසෙක් ලෙසින් ප්‍රයෝජනයට ගෙන යහපත, සැබෑ සතුට, සැනසීම උදාකරගැනීම පිණිස “නිර්වාණ ධර්ම“ වෙතින් වෙන් වන අවකාශයයි!“
"This is the BLOG of "Nirvana Dhamma" web site which is Strictly for Human beings only! No matter what your status in this world is, No matter what you believes on, No matter what your religion is, Only matter is that whether you are a human being or not to gain the maximum benefits through all these efforts!"

Wednesday, March 1, 2023

දැකිය යුතු ධර්ම තුනක්

මෙවර කතු වැකිය තුලින් අපගේ නිවන් මඟ කළ එළි කර ගැනීමට අත්‍යවශ්‍ය වන කාරණා 3ක් ගැන විමසා බලමු... 3ක් කිව්වට ඉතින් 3ක් සමඟ බැඳුණු තවත් 3 බැගින් වූ කාරණා රැසක් තමයි මේ දහම් කොටස තුල පෙන්වා දෙන්නේ. ඉතින් මේ දේවල් අපගේ නිවන් මඟට වැදගත් වෙන්නේ කොහොමද කියලා සම්බුදු ඔවදන අනුව විමසන්නට මෙවර කතු වැකිය තුලින් උත්සාහවන්ත වෙමු!

අපගේ සම්මා සම්බුදු පිය රජුන් විසින් පෙන්වා දෙන මේ කාරණා රැස තිබෙන්නේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අංගුත්තර නිකාය - 10. දසක නිපාතය - 2. දුතිය පණ්ණාසකය - 3. ආකංඛ වග්ග - 6. තයොධම්ම සූත්‍රය තුලයි.  

මුලින් ම අපගේ ශාස්තෘන් වහන්සේ විසින් මෙන්න මෙහෙම පෙන්වා දෙනවා.  මේ තුන් ලෝකයට අර්හත් වූ සම්මා සම්බුද්ධ වූ තථාගතයන් වහන්සේලා පහල වෙන්නට හේතු වන්නේ කාරණා 3ක් මේ ලෝකයේ විද්‍යාමාන වන නිසයි කියලා.  ඒ දහම් 3 මේ ලෝකයේ විද්‍යාමාන නැත්නම් තථාගතයන් වහන්සේලා පහල වීම හෝ තථාගතයන් වහන්සේලා පෙන්වා දෙන දහම් ප්‍රකට වීම කියන කාරණා සිද්ධ වෙන්නේ නෑ කියලා පෙන්වා දෙනවා.  එතරම් ම වැදගත් වූ, බුදු කෙනෙක් තුන් ලොවට පහල වන්නට තරම් වූ මේ වැදගත් කාරණා 3 මොනවද?

ඔව්... ජාතිය හෙවත් ඉපදීම. ජරාව හෙවත් වෙනස් වීමට ලක් වීම.  මරණය හෙවත් විනාශය.  මෙන්න මේ  ජාතිය, ජරාව හා මරණය ලෝකය විද්‍යාමාන වන නිසාම තමයි අර්හත් සම්‍යක් සම්බුද්ධ තථාගතයන් වහන්සේලා ලොව පහල වෙන්නේ... ඒ තථාගත ශ්‍රී සත්ධර්මය සහ විනය ලෝකයේ ප්‍රකට වෙන්නේ කියලා කියනවා.  මේ දහම් 3 නිසි සේ අවබෝධ කර ගැනීම, එයින් නිදහස් වීම ආදියේ වැදගත්කම අප නිතරම කතා බහ කරනවා නේ ඉතින් නේද?

මේ ලෝකයේ සියලු දෑ මේ කියන ජාති, ජරා, මරණ කියන අවස්ථා 3ට යටත් කියලා ඔබගේ පර්යේෂණයට ඔබට හසු විය යුතුයි.  ඔබ විසින් ම ඔබ සහ ඔබගේ යැයි සම්මත කර ගත් සියලු ජීවී, අජීවී සියල්ලම පර්යේෂණය කල යුතුයි.  නැණවත් ව විමසන ඔබට ලැබේවි මේ සියල්ලට ම පොදු එකම ධර්මතාවය මේ කියන හට ගැනීම, විනාශය කරා වෙනස් වීමට ලක් වීම සහ මරණය කියන ධර්ම 3 බව.  ඔබ යම් කිසි සිදුවීමක් ගත්තත් ඒ සිදුවීමේ ආරම්භය සහ විනාශය කරා ලඟා වීම සහ ඒ සිදු වීමේ අවසානය හෙවත් විනාශය දැක ගන්නට තිබෙනවා.  හොඳින් නැණවත් ව බලන්න... හරියට මේ හට ගත් යමක් (ජාති) වෙනස් වීමට ලක් ව (ජරා) විනාශය (මරණය) ට පත් වීම කියන එකම ධර්මතාවයට අප විසින් නම් ගම් ලබා දෙමින්, රාමු කරමින් ලේබල් කිරීමක් කල හොත් ඒ සියල්ල නොවේ ද අප “මම” සහ “මගේ” සහ අනෙකුත් සියල්ල ලෙසින් ඇසුරු කරන්නේ?

ඉතින්, මේ සූත්‍ර දේශනා ව තුල සම්මා සම්බුදු රජුන් විසින් මේ ජාති, ජරාමරණ කියන්නා වූ ධර්ම 3න් නුවණින් දකින්නෙක් විසින් ඒ ධර්මතාවයෙන් මිදෙන්නට කටයුතු කර ගන්නා අන්දම සහ ඒ වැඩපිළිවෙල සකස් වෙන අන්දම අපූරුවට පෙන්වා දෙනවා.  ඒ සියල්ලමත් කාරණා 3 බැගින් ම පෙන්වා දෙනවා.  ඒ සියල්ල මම අපට වැටහෙන බසින් මෙන්න මේ විදියට ගොනු කරන්නම්.  සූත්‍ර දේශනාව කියවා මේ කාරණා එහි ගොනු වී ඇති ආකාරය විමසා බලන්නට ඔබට අවස්ථාව තිබෙනවා.

මේ ලෝකයේ තමන් සහ තමන් ඇසුරු කරන සියලු දේ මේ කියන ජාතිය, ජරාවමරණය කියන ධර්මතාවයට යටත් කියලා දැක ගන්නා පුද්ගලයා ඒ ධර්ම 3න් විමුක්තියක් සොයන්නට පටන් ගන්නවා.  මේ අවස්ථාව හරියට අප නිතරම පෙන්වා දෙන සතර පෙර නිමිති නුවණින් දකින අවස්ථාව වගේ.  ඉන් පසුව, ඒ පුද්ගලයාගේ ජීවන රටාව සහ මුලින් ම වෙනස් වෙන්නේ කව්රුවත් කියලා නෙවේ.  කාගෙවත් වුවමනාව ට ද නොවේ. 

පාපයට ලැජ්ජාවක්... බයක් නැතිව හිටිය ඒ චරිතය තුල පාපයට ලැජ්ජාව බය ඇති වෙනවා.  මේ වගේ ජාති, ජරාමරණ කියන ධර්මතාවයට යටත් වෙලා කුමන පව් කම් දැයි නුවණින් දකිනවා.  ඒ නිසාම මේ ජාතියෙන්, ජරාවෙන්මරණයෙන් විමුක්තිය පිණිස අප්‍රමාදය සකස් වෙනවා.  එහෙනම් ජාති, ජරා, මරණ කියන ධර්ම 3 දකින නුවණැත්තා තුල පාපයට ලැජ්ජාවභය (හිරි - ඔතප්) සහ අප්‍රමාදය කියන ධර්ම 3 හට ගන්නවා. 

පවට ලැජ්ජාවක්... බියක් නැති තාක්... අප්‍රමාදයක් සකස් නොවන තාක් අප ඇසුරු කරන්නේ ම පාපයට උපකාර කරන මිත්‍රයින්.  අපට ඒවායෙන් මිදෙන්නට මඟ පෙන්වා දෙන තුනුරුවන ඇතුළු උතුමන්ට කිසිදු ගෞරවයක් ආදරයක් නෑ... ඒ උතුමන්ගේ අවවාදයන් ට කීකරු බවක් අප තුල නෑ.  ඉතින්, මෙන්න මේ ස්වභාවය වෙනස් වෙලා පාප මිත්‍ර ඇසුරෙන් ඉවත් වීම, උතුමන් කෙරෙහි ආදරය ගෞරවය, කීකරු බව කියන ධර්ම 3 අප තුල වැඩෙන්නට පටන් ගන්නවා. 

ලැජ්ජාව - බය හෙවත් හිරි ඔතප් ඇති නම්, අප්‍රමාදී නම් ඔබ ඒ කියන පාපයෙන් නිදහස් වන මාර්ගය පෙන්වා දෙන, අප්‍රමාදී බවට උපකාර කරන තුනුරුවන් කෙරෙහි ආදරයක් ගෞරවයක් ඇතිවෙනවා, අකීකරු බවක් තිබුණේ නම් ඒ අකීකරු බව නැති වී කීකරු බව ඇති වෙනවා.  පාපයට, අකීකරු බවට, තුනුරුවනෙන් ඉවත් කර තබන්නට උපකාර කල පාප මිත්‍ර ඇසුරෙන් ඉවත් ව පාපයෙන් මිදෙන්නට උපකාර කරන කල්‍යාණ මිත්‍ර ආශ්‍රය ලබන්නට පටන් ගන්නවා. 

මේ නිසාම ශ්‍රද්ධා නැති බවකරුණාව නැති බව, කුසීත බව කියන්නා වූ අගුණ 3ක් ඉවත් වී ශ්‍රද්ධාව ඇති බවටකරුණාව ඇති බවටපවෙන් මිදෙන්නට තිබූ කුසීත බව නැති කර ගන්නට කටයුතු කරනවා.  මේ විදියට ආරම්භ කල විරිය ඇති නිසාම තමන් තුල වූ පහත් වූ දහම් 3ක් වූ උද්ධච්චය, අසංවර බව, දුසිල් බව නැති කර ගන්නට හැකි වෙනවා.   එතරම් කාලයක් මේ උද්ධච්චකම, අසංවර බවදුසිල් බව නිසාම ගැඹුරු වූ දහම් පෙන්වා දෙන... විමුක්තිය පිණිස යමක් පෙන්වා දෙන... ආර්ය වූ ගැඹුරු දහම් පෙන්වා දෙන උතුමන් දකින්නට කැමැත්තක් තිබුණේ නෑ.  දැන් ඒ අකමැත්ත ඉවත් වෙනවා.  ආර්ය වූ කල්‍යාණ මිත්‍රයින් ඇසුරු කරමින්... ආර්ය වූ ගැඹුරු දහම් විමසමින් ඒ සඳහා විරියෙන් යුතුව කටයුතු කරනවා. 

මේ ඇසුරු තුල සිහි මුලා බවින් මිදෙන්නට මාර්ගය පෑදෙනවා.  නුවණ මඳ බවින් මිදී නුවණැත්තෙක් බවට පත් වෙන්නට කාරණා යෙදෙනවා.  චිත්ත වික්ෂිප්තතාවයන් ඉවත් වෙලා යනවා.  මේ වගේ නිදහස් වන මානසිකත්වයට... ගුණ දහම් වැඩුණු සිතට අයෝනිසෝ මනසිකාරයෙන් නිදහස් ව යෝනිසෝ මනසිකාරය පහල වෙන්නට අවශ්‍ය පසුතලය සකස් වෙනවා.  කුමග ඇසුර හෙවත් වැරදි වූ මිත්‍යා වූ මාර්ගයන් ගෙන් නිදහස් ව නිවැරදි වූ මඟට පත් වෙනවා.  එතරම් කාලයක් පාපයෙන් නිදහස් වීමට බාධා වූ චිත්තයාගේ මැලි බව ඉවත් ව යනවා. ප්‍රබෝධමත් ව තමන්ගේ අරමුණ වෙනුවෙන් කටයුතු කර ගන්නට සිත් පහල වෙනවා.

මෙන්න මේ පරිසරය තුල කල්‍යාණ මිත්‍ර ඇසුර ලබමින් ආර්ය දහම් අසන්නා වූ ඔබට යෝනිසෝ මනසිකාරය ද දහම් අනුදහම් ප්‍රතිපදාව ද පහල වෙමින් තථාගත ශ්‍රී සත්ධර්මය අවබෝධ කර ගන්නට හැකි වෙනවා.  ඒ අවබෝධය තුල ලෝකය විනිවිද දකිමින්දැක්ම නිවැරදි වෙමින් සත්කාය දිට්ඨිය, විචිකිච්ඡාව, සීලබ්බත පරාමාස ලෙසින් අප තුල වූ විමුක්තිය වසා දමා තිබූ කෙලෙස් සංයෝජන දහම් 3කින් මිදෙන්නට හැකි වෙනවා.  සෝතාපන්න බවට පත් වෙමින් රාගය කුමක් ද, ද්වේශය කුමක් දමෝහය කුමක් ද යන ගැඹුරු වූ කෙලෙස් දහම් සහ ඒවා උපදින ආකාරය නුවණින් අවබෝධ කර ගන්නවා.  අන්න ඒ අනුව රාගයද්වේශය, මෝහය නැති කරමින් ජාති, ජරාමරණ ධර්ම 3න් සඳහටම නිදහස් වෙනවා.

එහෙනම් ඔබ තුල මේ කිවූ ආකාරයෙන් කටයුතු සිදු වෙනවා දැයි විමසන්න.  ජාතිය, ජරාව, මරණය කියන්නේ නුවණින් අවබෝධ කල යුතු ගැඹුරු වූ ධර්මතාවයක්.  ඒ ධර්ම 3න් නිදහස් වීමට යන මඟ තුල ඔබට උතුම් තෙරුවන මුණ ගැහෙනවා. 

ඒ නිසා තෙරුවන තුලින් ලැබෙන්නේ කුමක් ද? නිවන කුමක් ද? තථාගත ශ්‍රී සත්ධර්මය කුමක් ද? බුදු දහම කුමක් ද? ආදී ලෙසින් තමන්ට නො වැටහෙන, තමන්ට ඇත්තටම අවශ්‍යතාවයක් නැති පර්යේෂණයක නිරත වෙමින් දහම් විමසීම ඔබට නිසි ප්‍රතිඵලයක් ලබා දෙන්නේ නෑ. 

ඒ වෙනුවට වඩා වැදගත් වෙන්නේ ඔබ තුල මේ කියන ජාති, ජරා, මරණ ධර්ම 3න් නිදහස් වීමට ඇත්තටම කැමැත්තක් තියෙනවා ද කියන එකයි.  ඔබට ඇත්තටම මේ ජාති, ජරා, මරණ ධර්ම 3 කියන්නේ “නිදහස් වීමට” තරම්අප්‍රමාදී ව ගැලවිය යුතු ප්‍රශ්නයක්, ගැටලුවක් ලෙසින් දැනිලා තියෙනවා ද කියලා විමසා බැලීමයි.  තවත් ආකාරයකින් කියනවා නම් “මම කවදා හෝ මැරෙනවා... මහලු වෙනවා...” වගේ වංචනික කතා කියමින් පැවැත්ම පිණිස ගත යුතු සියලු ක්‍රියාමාර්ග ගන්නා කෙනෙක් ද සැබෑවට ම සතර පෙර නිමිති දුටු කෙනෙක් ද කියලා තමන්ව ම විමසන්න!

මොකද, ඒ ප්‍රශ්නය දුටු සිතක් පමණයි පවට ලැජ්ජා ඇති බව... බිය ඇති බව... අප්‍රමාදය කියන කාරණා 3 දරා ගන්නේ.  එය එවිට බලෙන් ඇති වන ධර්ම 3ක් නොවේනිරායාස කාරණා 3ක් මයි.  ඒ නිරායාසයෙන් සකස් වන මාර්ගය තුල ඔබට තුනුරුවන මුණ ගැසී නිවන පිණිස වූ නිවැරදි ආර්ය වූ මඟ ලැබෙනවා.  ඒ නිසා තමන්ගේ පර්යේෂණය නිසි සේ හඳුනා ගන්න. එවිට විමුක්තිය යනු කව්රුවත් කියූ නිසා සොයන්නට ගත් අමුතු වූ විෂයයක් නොවේ.  ඔබ විසින් ම ගත් සෘජු තීරණයක ප්‍රතිඵලයක් ම බවට පත් වේවි!

ඉතින්, බුදු වදන තුල වූ මේ ගැඹුර ඔබ දැකිය යුතුයි.  පැවැත්ම තුල තව දුරටත් ඔබට පිළියම් යෙදිය හැකි බවක් දැනෙනවා නම්, පිළියම් යොදමින් පැවැත්ම සාර්ථක කර ගත හැකි බවක් දැනෙනවා නම්, මේ බුදු වදන තුල වූ ගැඹුරු වූ පෙර නො ඇසූ විරූ දහම් දැක ගන්නට නො හැකි වේවි!  ඒ නිසා නැණවත් ව විමසන්න!     

No comments: