සටහනේ අන්තර්ගතය
නිවන් මාර්ගය ගැනත් අප්‍රමාදීව නිවීම ගැනත් නිරන්තරයෙන්
කතා බහ කරන “නිර්වාණ ධර්ම” ලිපි තුල ලෝකයට ම සම්බන්ධ ගිහි වැඩපිළිවෙලක් සේ සම්මත
“විවාහය” සම්බන්ධ මාතෘකා කුමකට ද කියා නැණවත් ඔබට සිතෙන්නටත් පුළුවන්. නමුත්, හැමදාම වගේ මේ සටහන් තබන්නට සැරසෙන්නේ නිවන් මඟින් පරිබාහිර කාරණාවක් නොවේ.
සත්ධර්ම මාර්ගයේ ගමන් කරන විවාහක පිරිස වෙතටත්, තමන්ගේ
සහකාරිය ව හෝ සහකාරයා ව පහත් කර සලකන්නට මඟ පෙන්වා දෙන දේශකයාණන් වහන්සේලාටත්
බුදු දහමේ ගැඹුරු ඉගැන්වීම් සම්බන්ධයෙන් ගැඹුරින් සිතන්නට යමක් එකතු කරන්නට මෙවර
කතු වැකිය වෙන් කරමි.
මේ වන විට සම්මා සම්බුදු සසුන වරදවා ගෙන විග්‍රහ කර දීම්
බහුලව දකින්නට තිබෙනවා. ප්‍රතිරූපක ධර්ම ලෙසිනුත් මේ විග්‍රහයන් හඳුනා ගන්නට
හැකියි. ඉතින්, ප්‍රතිරූපක
ධර්මයක ප්‍රධාන ස්වරූපයක් තමයි බැලූ බැල්මට අතහැරීම, නො ඇල්ම, මිදීම සහිත නිවීම පිණිස වගේ දක්නට තිබෙනවා. නමුත්, අන්තර්ගතය ගත් විට එය එසේ නොවෙයි. ඒ
විග්‍රහයන් තුලින් මඟ පෙන්වීම සිදු වන්නේ තවත් පැවැත්මක් සඳහා ම තමයි. නමුත් ප්‍රකාශ කරන්නා හෝ අසන්නාට මේ සියුම් ව සිදු වන අනතුර ගැන වැටහීමක්
නැති වෙන්නට පුළුවන්. ඒ නිසා තමයි ප්‍රඥාවන්ත ශ්‍රවණය ක් ඉතාමත් වැදගත්
වෙන්නේ. හොඳයි, දැන් ඉතින්
අපි කතා කරන්නට සූදානම් වන මාතෘකාවට මේ කතාව සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා ඔබට
සිතෙන්නට පුළුවන්. සම්බන්ධ වෙන්නේ මෙහෙමයි.
යමක් පිළිකුල් කොට... පහත් කොට... අවමන් කොට... ප්‍රතික්ෂේප
කිරීම නිවන් මාර්ගය නොවෙයි. අවබෝධයකින්
තොරව යමක් පිළිකුල් කොට, පහත්
කොට, අවමන් කොට ප්‍රතික්ෂේප කරනවා නම් එය තුලින් සකස් වෙන්නේ
විභව තණ්හාවයි. තණ්හාව සකස් වෙනවා මිස තණ්හා නිරෝධයක් සිදු වන්නේ නෑ. ඉතින්, මේ
විවාහය සම්බන්ධ කාරණා වල දී බෞද්ධ පිරිස පුරුදු වෙලා ඉන්නවා එය ඉතාමත් පිළිකුල්
කොට, පහත් කොට, අවමන්
කොට, ප්‍රතික්ෂේප කරන්නට. බහුතරයක් වූ දේශකයාණන් වහන්සේලා ද, ඒ අනුව කටයුතු කරන්නා වූ දහම් මාර්ගයේ ගමන් කරන පිරිස තුල ද මේ ස්වභාවය ප්‍රකටව
දක්නට තිබෙන්නක්. සමහර විට එය සිදු වන්නේ බහුතරයක් දෙනාට විවාහය කියන කාරණය
සමඟ පහත් වූ මට්ටමක රාගයක් බැඳී තිබීම සිහියට නැගෙන නිසාම විය හැකියි.
පිරිමි පාර්ශවය ගත් විට තමන්ගේ බිරිඳ හෝ කාන්තා පාර්ශව ය
ඉතාමත් පහත් කොට කතා බහ කරන අවස්ථා දක්නට තිබෙනවා. ඒ
වගේම තමයි කාන්තා පාර්ශවය ගත් විටත් තමන්ගේ ස්වාමිපුරුෂයා සමඟ එතරම් සම්බන්ධයක්
නැති බව දැක්වීමට පහත් කොට කතා කරන අවස්ථා තිබෙනවා. දෙපාර්ශවය
ම තමන්ගේ සහකරුවා සහ සහකාරියට අවමන් වන අයුරින් කතා කිරීම තුලින් තමන් ඒ බන්ධනය
ඉතාමත් පිළිකුල් කොට, පහත් කොට දකින... දහම් මාර්ගයේ දියුණුවට පත් වූවෙක් බවට
හුවා දැක්වීමක් තමයි බොහෝ වෙලාවට දැක ගන්නට තිබෙන්නේ.
මෙය ඇත්තටම නොදැනුවත්කම නිසාම, ධර්මය ගැඹුරින් විමසන්නෙ නැති නිසාම සිදු වන අකරතැබ්බයක්. ගුණ වැඩෙනවා වෙනුවට ගුණ නැසෙන... අවබෝධයෙන් යුතුව තණ්හාව
නිරෝධ වෙනවා වෙනුවට ගැටීමෙන් යුතුව ප්‍රතික්ෂේප කරමින් “විභව තණ්හාව” ට පත් වන ක්‍රම
වේදයක්. ඒ නිසා ප්‍රඥාවන්ත ව ගැඹුරු වූ සියුම් වූ බුදු දහම
විමසන්න ඕන. සම්මා සම්බුදු හිමියන්ගේ බෝසත් චරිතයේ පටන් ගෙන සම්මා
සම්බුද්ධත්වයට පත් වූ පසුවත්
සහකාරිය කෙරෙහි තිබූ ගෞරවය නැණවත් ව විනිවිද දකින්න ඕන.
සම්මා සම්බුද්ධත්වයට පත් වී මාලිගාවට වැඩම කල අවස්ථාවේ
දී යශෝධරාව ආවේ නෑ උන්වහන්සේ ලඟට. උන්වහන්සේ
ද එය පහත් කොට “ගෑණුන්ගේ මාන්නේ... ස්ත්‍රිය ඔහොම ම යි... අනුවණ ගෑණු සම්මා
සම්බුදු කෙනෙක් ව තමන් ලඟට ගෙන්න ගන්නවා...” වගේ ගිහි කල බිරිඳට අවමන් වන ආකාරයෙන්, පහත් කරන ආකාරයෙන් පිළිකෙව් කරන ආකාරයෙන් කටයුතු කලේ නෑ. අනන්ත සසරක් පුරා
දුන් සහායට ඒ සහකාරියට ඉතාමත් ගෞරවනීය ලෙසින් තමන් වහන්සේගේ කෘතවේදීත්වය ප්‍රකාශ
කලේ ඇය සිටින ස්ථානයට ඇය බලාපොරොත්තු වූ සේම වැඩම කොට ඇයට රිසි සේ ඇයගේ දුක්
වේදනාවන් ප්‍රකාශ කර ගන්නට ඉඩ ප්‍රස්ථාව සලසා දීමෙනුයි. උතුම් ගුණ පිරුණු ඒ යශෝධරාව උන්වහන්සේගේ දෙපතුල් අල්ලා ගෙන හැඬූ ආකාරයත්
ධර්මයේ සඳහන් වෙනවා. ඒ කිසිවක් පහත් කොට දක්වා බුදු හිමියන් විසින් අවමන් කර නැති
බව නැණවත් ව වටහා ගත යුතුයි.
එකිනෙකා ගේ ස්පර්ශය නිසාවෙන් පහත් වූ කාමයෙන් රාගයෙන්
බැඳෙන්නට තරම් දුර්වල වූ මානසිකත්වයක් උතුම් සම්මා සම්බුද්ධ රත්නය තුල හෝ රහත්
වෙන්නට පාරමිතා පිරී තිබූ යශෝධරාව තුල වත් නො තිබූ බව වටහා ගන්නට ඔබගේ සිතත් මේ
ධර්මාවබෝධය තුලින් ම දියුණුවට පත් විය යුතුයි. ඒ
වගේම තමයි යශෝධරා තෙරණින් වහන්සේ උත්තම රහත් ඵලයෙන් පසුව තමන් වහන්සේ පිරිනිවන්
පාන්නට යන අවස්ථාවේ දී අනන්ත සසරක් පුරාවට සහකාරයෙක් ලෙසින් තමන්ට ලබා දුන්
සහායටත්... සහකාරියක් ලෙසින් තමන් වහන්සේ ලබා දුන් සහායත් ප්‍රකාශ කරමින්... වරද
ප්‍රමාද දෝෂයන් ට සමාව ගනිමින්... ලබා දුන් සියලු සහායට ස්තුති කරමින් තමයි මේ සසර
නිමා කරමින් නික්ම යන්නටත් අවසර ලබා ගත් ආකාරය. ඒ
තුල සැබෑ කාන්තාවකගේ පිරුණු බව, උසස් වූ
ගති ලක්ෂණ සියල්ලම ගැබ් වෙනවා.
සැබෑවට ම අත හැරුණු... සැබෑවට ම තණ්හාව නිරෝධය කල සහ
නිරෝධ මාර්ගයේ සිටින පිරිස කටයුතු කරන්නේ එලෙසයි. ඒ අය සියලු දේ ගැන ඉතාමත් අවබෝධයකින් තමයි කටයුතු
කරන්නේ. තමන්ගේ බිරිඳ ගැන වර්ණනා කිරීම... කෘතවේදීත්වය... හෝ
තමන්ගේ සැමියා ගැන වර්ණනා කිරීම... කෘතවේදීත්වය පල කිරීම බන්ධනයක් හෝ තණ්හාව වැඩෙන
දෙයක් සේ ප්‍රඥාවන්තයා දකින්නේ නෑ. මේ
සම්බුද්ධ ශාසනයකින් පමණක් අවබෝධ කල හැකි ප්‍රඥාවන්ත අතහැරීම සහ අන්‍ය වූ ශාසන වල
ප්‍රකට ප්‍රතික්ෂේප කරමින් අතහැරීම දහම් මාර්ගය තුල යන පිරිස බොහෝ විට පටලවා ගන්නා
කාරණයක්.
ඉතින්, මෙන්න මේ
සසරක් නිමා කිරීම පිණිස තමන් සමඟ එකට පැමිණෙන චරිතය අතර ඇති රාගයෙන් තොර වූ
සහාය... ආධාර කිරීම... මිත්‍රත්වය හඳුනා ගන්නට ඔබ දක්ෂ වෙන්න ඕන. සිඟාලෝවාද සූත්‍ර දේශනාවේ පවා සම්මා සම්බුදු රඳුන් පෙන්වා දෙනවා තමන්ගේ
සහකාරියට, සහකාරයාට අවමන් නොකර නිසි සම්මාන ලබා දිය යුතු බව. ඒ සූත්‍ර දේශනාවේ පෙන්වා දෙන්නේ නිවන් මඟයි. නිවීම
පිණිස යමෙකු තුල වැඩිය යුතු ගුණ සමුදායේ මුල පටන් ගැන්ම තමයි එතැන තියෙන්නේ. ඒ දේවල් ගැඹුරින් නැණවත් ව විග්‍රහ කර ගත්තේ නැත්නම් අපට හැමදාම මේ වටිනා
නිවීම පිණිස ම වූ දේශනා ලෞකික වූ අර්ථ සහිත දේශනා පමණක් බවට පත් වෙනවා.
දීපංකර බුදු රඳුන්ගේ පටන් ගෙන මීළඟ ට පහල වන්නට නියමිත
මෛත්‍රී බුදු රඳුන් දක්වා ම මව, පියා, බිරිඳ, දරුවා ආදී විස්තර ත්‍රිපිටක සහ අටුවා ග්‍රන්ථ තුල නම්
ගම් වශයෙන් ම දක්වා තිබෙනවා. ඒ
උත්තම සම්මා සම්බුද්ධ චරිත, ඒ උත්තම
රහත් ථෙර, ථෙරී චරිතාපදාන ඇසුරු කරමින් ඒවා තුල මේ සසර පුරාවට
එකිනෙකාට දුන් සහාය සහ ඒ සඳහා දුන් ගෞරවනීය බව හඳුනා ගන්නට දක්ෂ වෙන්න ඕන.
මේ වන විට පටලවා ගෙන ඇති ගැඹුරු දහම් කාරණයක් වූ ස්ත්‍රී
බව, පුරුෂ බව සහ ස්ත්‍රී රූපයක් ලැබීම, පුරුෂ රූපයක් ලැබීම කියන කාරණා අප වෙනත් විග්‍රහයක් තුලින් පෙන්වා දෙන්නම්. එවිට පහත් කොට දැක්වූ ස්ත්‍රී බව, ස්ත්‍රී රූපය සමඟ අප පටලවා ගෙන ඇති බව නැණවත් ඔබට වටහා
ගන්නට හැකි වේවි. ඒ
වෙනස ගැන ඉතාමත් කෙටියෙන් කියනවා නම් යමෙක් තමන්ගේ සහකාරයා ව හෝ සහකාරිය ව ඉතාමත්
පහත් කොට, අවමන් කොට, පිළිකෙව්
කොට ප්‍රතික්ෂේප කරනවා නම් ඒ පුද්ගලයා කාන්තාවක් වුවත් පිරිමියෙක් වුවත් ඒ දක්නට
තිබෙන්නේ ස්ත්‍රී බවයි. ධර්මය
තුල පෙන්වා දෙන නිරයගාමී වන “ඉතිරි බව, ලද
දෙයින් සතුටු නොවන ස්වභාවය” හෙවත් “ස්ත්‍රීත්වය” කියන්නේ එයයි. “ගෑණු ගති, ගෑණු
වගේ” කියලත් ඉතින් කට වහරට කියනවා. ඉතින්
පිරිමියෙක් හෝ වේවා කාන්තාවක් හෝ වේවා එවන් ඉතිරි ගති හෙවත් ස්ත්‍රී ගති තියා ගෙන
නම් මේ නිවන් මඟ වැඩීම කල නොහැකි දෙයක්. පිරුණු
ගති හෙවත් පුරුෂ ගති වැඩෙන්න ඕන. ලද දෙයින් සතුටු වන බව, කෘතවේදී බව, අවමන්
නොකරන බව, ගෞරවනීය බව, විශ්වාසවන්ත
බව, ඉවසිලිවන්ත බව, සමාව
දීම සහ සමාව ගැනීම ආදී බොහෝ ගුණ දහම් ප්‍රගුණ කල හැකි “විවාහය” ගැන විවාහක පිරිස
ගැඹුරින් අවබෝධ කර ගන්න ඕන.
මේ පැවැත්ම තුල ඇති සියලු කාරණා ගැන සම්බුද්ධ ශාසනයක
තරම් පෙන්වා දී ඇති අංග සම්පූර්ණ ශාසනයක් නැති තරම්. අන්න ඒ ගුණ වැඩෙන ගැඹුරු වූ මනුස්ස අමනුස්ස සියල්ලන්ට ම ප්‍රිය වූ මෛත්‍රී
සහගත ප්‍රඥාවන්ත මාර්ගය හඳුනා ගන්නට ඕන. මේ
ඉතාමත් සාරාංශ ගත ව තමයි මේ මාතෘකාව කතා කලේ. දීර්ඝ
විග්‍රහයක් අවස්ථාව ලැබෙන පරිදි පෙන්වා දෙන්නම්. ප්‍රඥාවන්තයා
ට කෙටියෙන් වුවත් යමක් පෙන්වා දුන් කල එය ප්‍රමාණවත් දීර්ඝ වූ නැණවත් විමසීමක්
සිදු කරගන්නට. ඒ සඳහා ම මේ කෙටි සටහනට නැණවත් ඔබට හේතු උපකාර වෙත්වා!!!
විවාහක හෝ වේවා අවිවාහක හෝ වේවා යමෙක් පහත් කොට, අවමන් කරමින්, පිරිසක්
මැද අපහසුතාවයට පත් කිරීම, ප්‍රසිද්ධියේ
අගුණ ප්‍රකාශ කරමින් පහත් කිරීම, මේ
සියල්ල අසත්පුරුෂ ගති බව ධර්මයේ පෙන්වා දෙනවා. ඒ නිසා තමන්ගේ බිරිඳ හෝ සැමියා පහත් කරමින් අවමන් කිරීම
“අතහැරීමක්” ලෙසින් වරදවා වටහා නො ගත යුතුයි. යමෙකු ගේ සුළු හෝ ගුණ දැකීම සත්පුරුෂ දහමෙහි හික්මීමයි. එයම ආර්ය වූ දහම් දකිමින් නිවන් මඟ අවබෝධ කර ගැනීමට
පසුතලයයි!!!
පසු සටහන :
දැන් ඉතින් විවාහ වෙලා නැති අය “හම්මේ ගුණ වඩා ගන්න කදිම
අවස්ථාව” කියලා ඉතින් ඉක්මනින් ම විවාහ වෙන්නට කලබල වෙන්න එපා හොඳේ! මේ දේවල් කිව්වේ දැනටමත් විවාහ වෙලා ඉන්න පිරිසට එයට බාධාවක් කර ගන්නේ
නැතිව නිවන් මඟ පූර්ණය කර ගන්නට මිසක් නිවන් යන්න නම් විවාහ වෙන්න ම ඕන කියලා
පෙන්වා දෙන්න එහෙම නොවෙයි! අදහස ප්‍රඥාවන්ත ව අවබෝධ කර ගන්න ඕන! තමන් තුල ඇති විවාහ වෙලා රාගයෙන් බැඳෙන්නට ඇති පහත් වූ ආශාවන් ඉටු කරගන්නට
ඇති කෙලෙස් පෝෂණය කර ගන්නට වංචනික ව “පනින
රිළවුන් ට ඉනි මං බැන්දා” හා
සමාන විග්‍රහයක් ලෙසින් මෙය නො ගත යුතුයි. එය
එසේ වේවි යැයි සිතා මේ කාරණා පෙන්වා නොදී විවාහය වැනි කාරණා වලට අවමන් කර ප්‍රතික්ෂේප
කරමින් විභව තණ්හාව සකස් වෙන ප්‍රතිරූපක ධර්ම විග්‍රහ කර දීම ශාසනික ක්‍රමවේදය ද
නොවන බව වටහා ගැනීමට මේ සටහන උපකාර කර ගත යුතුයි. ඒ
නිසා සම්බුද්ධ ශාසනයක මේ ගැඹුර දැක ගන්නට තම, තම නැණ
පමණින් කැප වෙත්වා!
මේ සියල්ල විවාහය යහපත් ද අයහපත් ද යැයි කියා දීමට නොව තමන්ට දැන් ඇති අවස්ථාව, ලැබී ඇති දේ, හමු වී ඇති පුද්ගලයින් නිවැරදිව ප්‍රඥාවන්ත ව හඳුනා ගෙන, ඒ සියල්ල මේ පැවැත්ම අවසන් කර ගැනීම සඳහා තම තමන්ගේ කුසලතාවය වැඩි දියුණු කර ගැනීම පිණිස යොදා ගන්නේ කෙසේ ද යන්න අවබෝධ කර ගැනීම සඳහායි! සැබෑ ආදරවන්තයෙක් සහකාරයෙක් වෙන්නේ කොහොමද කියලා මීට පෙරත් ඔබත් සමඟ බෙදා ගත් කතු වැකි තියෙනවානේ... ඒ වගේම සැබෑ ආදරය ගැනත් කතා බහ කරලා තියෙනවානේ... ඒවත් නැවත කියවලා බලන්න! විය යුත්තේ සියලු බන්ධනයන් ගේ අවසානයයි! එය ප්‍රඥාවන්ත ව අවබෝධයෙන් මිස බලහත්කාරයෙන් ප්‍රතික්ෂේප කිරීම තුලින් සිදු විය යුත්තක් නොවිය යුතුයි!!!
මෙවැනි දහම් ලිපි ඇසුර පිණිස "නිර්වාණ ධර්ම" වෙබ් අඩවියට පිවිසෙන්න!
No comments:
Post a Comment