නිර්වාණ ධර්ම බ්ලොග් අවකාශය | Nirvana Dhamma BLOG

About this Blog | මෙම බ්ලොග් අඩවිය ගැන...

"මෙය “නිර්වාණ ධර්ම“ වෙබ් අඩවියට සමගාමීව ඔබ වෙත ලබාදෙන බ්ලොග් අඩවියයි! මෙසේ අවස්ථාවන් රැසක් තුලින් සත්ධර්මය කැටිකොට ලබාදෙන්නේ අතිශයින්ම බුද්ධිමත් සැබෑම මිනිසුන් වෙත පමණයි! ඔබේ ආගම ජාතිය කුලය තත්ව තානාන්තරය කුමක් වුවත් සැබෑම මිනිසෙක් ලෙසින් ප්‍රයෝජනයට ගෙන යහපත, සැබෑ සතුට, සැනසීම උදාකරගැනීම පිණිස “නිර්වාණ ධර්ම“ වෙතින් වෙන් වන අවකාශයයි!“
"This is the BLOG of "Nirvana Dhamma" web site which is Strictly for Human beings only! No matter what your status in this world is, No matter what you believes on, No matter what your religion is, Only matter is that whether you are a human being or not to gain the maximum benefits through all these efforts!"

Tuesday, May 17, 2016

පිනක උපකාරය නුවණින් දැකගන්නට...

කීයක් හරි හොයාගෙන යන වාහනයට ගෙවලා...
පුළුවන් පමණින් පූජා කරන්නට දේත් රැස්කරගෙන...
මහා ශ්‍රද්ධාවකින් ලකලෑස්තිවෙලා...
අපි මේ මහා පින්කමකට යන්නටයි හැමෝටම පවසලා...
උදේ පාන්දර අවදි වෙලා...
දුරු කතර ගෙවාගෙන... සකසාගත්ත ආහාරයත් වාහනයේම අරගෙන...
කොහොම කොහොම හරි පින්බිමට එන සැඳැහැවතුන්ට...
පින්බිමට පා තැබූ තැන් පටන්...
තමන් පැමිණි අරමුණ අමතකවන අයුරු නම් සැබැවින්ම බියකරුයි...
ඉන්පසු සොයන්නේම සැප පහසුවයි...
කෑමක් බීමක් දෙනවදෝයි සිත විමසයි...
ඉන්නට සුව පහසු තැනක් වේ දෝයි සොයමින් යයි...
සාංඝික දානයෙන් කොටසක් තමන්ට ලැබෙනතෙක් ඉවසුම් නැතිව යයි...
පින්කමට සම්බන්ධ වෙන්නට ඉඩ දුන්නන්හටද අපවාද උපවාද කරයි...
මේ හැමදේම අස්සේ පින්කම හෙමින් හෙමින් අවසන් වී යයි...
දෙවියෝ වැඩියද? බුදු රැස් විහිදුනාද? පින්කමේ ඔක්කෝම කෙරුණද?
අවසන ප්‍රශ්ණ පත්තරයක්ම ඉතුරු වෙයි...
අවසානයේ පිටත් වෙන්නේ?
ලෝභයෙන්මයි... ද්වේශයෙන්මයි... මෝහයෙන්මයි...
නැවත ගොස් හැමෝටම පවසන්නේ අපි මහා පින්කමක් කර ආ බවයි...
සුගතියට නිවනට ඉඩ හදාගත් බව තමන්ටම පවසා ගනියි...
තමන්වම රවටා ගනියි...
“දන් දෙන්නට සුදුසුමැය, පින් කරන්ට සුදුසුමැය. දෙවි වූවහුටද උපකාරයෝ පින්ය, මනුෂ්‍යවූවහුටද උපකාරයෝ පින්ය, පැවදිවූවහුටද උපකාරයෝ පින්ය" ලෙසින් බුදු හිමියන් පැවසුවේ...
මෙසේ මමත්ව චාරිකාවක් කරනු පිණිස නොවන බව නුවණින් දැකිය යුතුමය...
අනාථ සසර ගමනක් කෙලවර කරගන්නට උපකාරයක්ම වූ ඒ උතුම් තෙරුවණ කෙරෙහි...
කළගුණ දක්වන්නට පින්කම් කරන්නට යොමුවූ සිතට...
ශ්‍රද්ධාව නම් බලය... ශ්‍රද්ධාව නම්වූ ඉන්ද්‍රිය වැඩුමට... පින උපකාරයක්ම වේ...
හැම අපහසුවක්ම නොසළකා හරිමින්... කායික වේදනා නොසලකා හරිමින්...
පින්කමක අරමුණ හොඳහැටි දැන එය යහතින් එය සාර්ථක කරගන්නට කැපවූ සිතක...
විරිය නම් බලය වැඩුමට... විරිය නම් වූ ඉන්ද්‍රිය වැඩුමට ඒ පින උපකාරයක්ම වේ...
රාගය ද්වේශය මෝහය කෙරෙහි සිහියෙන් යුතුවම පින්කමේ කටයුතු කරන්නේ නම්...
සිහිය නම් වූ බලය වැඩුමට... ඉන්ද්‍රිය වැඩුමට මෙන්න මේ පින උපකාරයක්ම වේ...
ශ්‍රද්ධාව, විරිය, සිහිය යෙදෙමින් තමන් කෙරෙහි යොමුවූ සිතකින්...
තමන් වෙහෙස වන පින්කම සාර්ථක කරගන්නට කැපවූ සිතට...
සමාධිය නම් බලය වැඩුමට... සමාධි ඉන්ද්‍රිය වැඩුමට ඒ පින උපකාරයක්ම වේ...
මේ සියල්ල යෙදෙන තැන පින්කම හුදෙක් තවත් එක් පින්කමක් වී නොනැවතී...
ඒ කටයුතු වඩා ගැනුමට උපකාර කරනා කළණ මිතුරන් හඳුනාගෙන...
ඒ ඇසුර තුල රාගය ද්වේශය මෝහයම ක්ෂය කරන සත්ධර්මයම හඳුනාගෙන...
ප්‍රඥා බලය වැඩෙන... ප්‍රඥාව නම් වූ ඉන්ද්‍රියම වඩාගන්නට... ඒ පින්කමක් උපකාර වේ...
මෙන්න මේ මේ බොහෝ අයුරින් පින හැමෝටම බොහෝ සේ උපකාර වේ...
මෙන්න මේ මේ බොහෝ අයුරින් දානය හැමෝටම බොහෝ සේ උපකාර වේ...

එහෙත් ඔබ? 

මෙසේ පින්කම් කරන්නේද? විමසා බලන්න...
දොස් පරොස් සොයමින් අංශු මාත්‍ර හෝ වරද අඩුපාඩු දකිමින් ගැටෙන ඔය සිතට...
දෙවියන් සොයමින් බුදු රැස් සොයමින් මුලාවූ ඔය සිතට...
තමන් තුල ප්‍රඥා ලෝකය දැල්වූ විට විහිදෙන රැස් මාලාව දැකගන්නට දහම් ඇසම ලැබේවා!
ප්‍රඥාව යෙදෙමින් විදසුන් වඩන්නාවූ සිතට වඳිනා දෙවියන් දැකගන්නට දහම් ඇසම ලැබේවා!!
රාගක්ෂයම ද්වේක්ෂයම මෝහක්ෂයම වී උතුම් නිවන් සුවයෙන්ම අප්‍රමාදීවම සැනසෙත්වා!

Tuesday, April 19, 2016

මෙත් සිතක සහ වංචනික සිතක වෙනස...

“යම්පිච්ඡං න ලබති තම්පි දුක්ඛං - යමක් කැමති සේ නොලැබීමද දුකකි”
පෙර නොඇසූ විරූ ලෝකය නොදන්නා තාක්...
පෙර නොඇසූ විරූ දුක නොදක්නා තාක්...
පෙර නොඇසූ විරූ දහමෙන් පෝෂණය නොවන තාක්...
කැමති සේ නොපවතින ලෝකයක්
තමන්ට කැමති සේ පවත්වා ගැනීමේ හිස් වෑයමක
යෙදෙන්නේ...
කෙසෙල් කඳක් පතුරු ගසමින් හරයක් සොයන්නා සේමයි...


කෙනෙක් අපට රිසි සේ කටයුතු නොකරයි...
එන්න අප ඔවුන් සකසමු...
යමෙක් දහමක් නොදරයි...
එන්න අප ඔවුනට බලහත්කාරයෙන් දහමක් දෙමු...
කෙනෙක් අඳිනා ඇඳුම නොගැලපෙයි...
එන්න අප එය අපට රිසි ගැලපෙන විදියට හඳමු...
ඔහු අප කියනා දෙය පිළිනොගනී...
එන්න අප කෙසේ හෝ පිළිගන්නවමු...


අපට රිසි සේ නොවේ නම් අපට ඒ ඇසුර නොවේවා!
එන්න අප එකතුවී පතමු...
අපේ සිත් පිරිසිදුයි
එන්න අප තදින් අධිටන් කරමු...
පූජා තබමු... සෙත් පතමු...
පහනක් දල්වමු... ඉටි පන්දමක් දල්වමු...
මේ ලෝකය අපට රිසි සේ සකස් වේවා...
අඳුර නැතිවී ආලෝකය වේවා...
අපට රිසි දෑ ලොව ප්‍රකට වේවා...
අපට රිසි ලොවක් නැඟේවා...


මෙවන් වූ කොතරම් නම් බලාපොරොත්තු ඔබ සිත තුල වේද? 
මෙවන් වූ කොතරම් නම් අධිටන් ඔබ තුල වේද?
මොහොතකටවත් බුදු වදන සිහි වූයේ නම් ඔබට...
මොහොතකටවත් දහම නිසි සේ වැටහුණි නම් ඔබට...  
මොහොතකටවත් නිසි සිහිය පැවතුනේ නම් ඔබට...
මේ කෙසෙල් කඳ ඔබ පතුරු ගසනේද? 


අවිද්‍යා සහගත සිත වංචාවන්මයි කරන්නේ...
අනිසිවූ පැතුමන්මයි පතන්නේ...
ඒ උතුම් බුදු වදන... ඒ උතුම් සත්දහම...
ලෝකය තන්නන්ට නොව ලෝකයෙන් මිදෙන්නට බව
මොහොතකට හෝ වැටහුණේ නම් ඔබට...
මිරිඟුවක් වැනි මෙවැනි සංඥා පසු පස දුවන්නේද?


තවමත් ප්‍රමාද නැත...
නිසි ලෝකයක් පතමින් අධිටන් පූජා කරනු වෙනුවට...
ලෝකයේ තතු දැන ලෝ නිරෝධය පිණිස
අප්‍රමාදී වන්නේ නම් ඔබ...
එයම භාග්‍යයකි... එයම වාසනාවකි...


විදසුන් නුවණින් විමසා... 
මේ සියලු අනිසි දෑ මාර දහමේ උඟුලම බව... 
හැඳින ගන්නේ නම් ඔබ... 
එයම භාග්‍යයකි... එයම වාසනාවකි... 


රූපයක, වේදනාවක, සංඥාවක...
සංකාරයක, විඤ්ඤාණයක නිසි තතු නොදැන...
කැමති සේ ඉටු වේවායි පැතුවා මිස...
රැවටුණා පමණක් යැයි දැනගත්තේ නම් ඔබ...
එයම භාග්‍යයකි... එයම වාසනාවකි...


පහනක් දල්වා අනිසි පැතුමන් පතනු වෙනුවට 
පහන් දැල්ලෙන් යතාර්ථය නුවණින් විමසුවේ නම් ඔබ... 
එයම භාග්‍යයකි... එයම වාසනාවකි...


කයේ රෝ සුව කරගනු පිණිස සෙත් පැතුම් පතන ඔබ
භව රෝගයේ තරම පිළිකාවක් සේ පැතිර ඇති තරම
නුවණැසින් දක්නේ නම් ඔබ...
එයම භාග්‍යයකි... එයම වාසනාවකි...

පෙර නොඇසූ විරූ දහම් ඇති සිතක නැඟෙන මෛත්‍රී චිත්තයකත්...
මාර දහමෙන් වැසුනාවූ බලාපොරොත්තු පොදි බැඳ කටයුතු කරන්නාවූ...
වංචනික සිතකත් සියුම් වෙනස...
නුවණින්ම දකියි නම් ඔබ...
එයම භාග්‍යයකි... එයම වාසනාවකි...


තවමත් ප්‍රමාද නැත...
පියාගේ භූමියට රැස් වන්න...
සතර සතිපට්ඨානයේ රැඳුන සිත...
තෙරුවණේ රැකවරණය ලැබෙන සිත...
මාර දම් හමුවේ පරාජය නොවන්නේමය...
මඟ නොමඟ වී ඇති බව නුවණින් දැකගන්න...
ප්‍රඥාවන්තව සැඟවුණු අදහස නුවණින් දැක ගනිත්වා...
කැමැත්තෝ කළණ මිතු ඇසුර ලැබ...
සත්දහම මතුකරගනිත්වා!


අවබෝධ වූ දෑම කියන... කියන දේ තමන් තුල පවතින... අවබෝධයෙන් යුතුවම කටයුතු කරන... නුවණින් විමසන විදසුන් වඩන සත්පුරුෂයෙක් වන්නට තෙරුවණේ ආශිර්වාදය නොඅඩුව ලැබේවා!