නිර්වාණ ධර්ම බ්ලොග් අවකාශය | Nirvana Dhamma BLOG

About this Blog | මෙම බ්ලොග් අඩවිය ගැන...

"මෙය “නිර්වාණ ධර්ම“ වෙබ් අඩවියට සමගාමීව ඔබ වෙත ලබාදෙන බ්ලොග් අඩවියයි! මෙසේ අවස්ථාවන් රැසක් තුලින් සත්ධර්මය කැටිකොට ලබාදෙන්නේ අතිශයින්ම බුද්ධිමත් සැබෑම මිනිසුන් වෙත පමණයි! ඔබේ ආගම ජාතිය කුලය තත්ව තානාන්තරය කුමක් වුවත් සැබෑම මිනිසෙක් ලෙසින් ප්‍රයෝජනයට ගෙන යහපත, සැබෑ සතුට, සැනසීම උදාකරගැනීම පිණිස “නිර්වාණ ධර්ම“ වෙතින් වෙන් වන අවකාශයයි!“
"This is the BLOG of "Nirvana Dhamma" web site which is Strictly for Human beings only! No matter what your status in this world is, No matter what you believes on, No matter what your religion is, Only matter is that whether you are a human being or not to gain the maximum benefits through all these efforts!"

Friday, November 25, 2016

දහම් ඇස පිණිස දැකිය යුතු පෙර නොඇසූ විරූ දහම - 2 කොටස

1 කොටස හා සැබැඳියි...
ඒත් දැන් ඒ පුද්ගලයා මේ අනතුර ගැන දන්නවා. හරියට අතේ තිබුණ මහා වනයක් තුවාලයක් හොඳ වුණා වගේ. මෙච්චර කාලයක් වස වල අතදාගෙන හිටියේ තුවාලයක් තියෙන බවවත් නොැදනයි. ඒත් දැන් දන්නවා ඒ තිබුණ තුවාලය වනය සුවවූ බව. දැන් ඒ පුද්ගලයා වස වල අතදාන්නේ බියක් නැතිවයි. 


හේතුව ඒ පුද්ගලයා දැන් අබැද්ධිය දන්නවා. පෙනෙන, ඇහෙන, විඳින, දැනෙන මොහොතක් මොහොතක් පාසා ක්‍රියාත්මක වන මායා මුලාව මහා බොරුව වංචාව දන්නවා. 

ඒ පංචස්කන්ධයේ ක්‍රියාත්මක වන බොරුව වංචාව මායාව නොදන්නා තාක් සකස් වූ ආශ්වාදය ගැන දැනගන්නවා. ආශ්වාදය තතු සේ දැනගන්නවා...

ඒ ආශ්වාදය සකස් වන මොහොතේ ඒ හා බැඳී ක්‍රියාත්මක වූ පංචස්කන්ධයේ ඇත්ත නොදැනීම නිසාවෙන් සිද්ධ වෙන සිද්ධිය හෙවත් අවිද්‍යා, සංකාර, විඤ්ඤාණ, නාමරූප, සළායතන, ඵස්ස, වේදනා, තණ්හා, උපාදාන ආදී නවය ගැන දැනගන්නවා. ඒ ආකාරයෙන් ආදීනවය තතු සේ දැනගන්නවා...

ආශ්වාදය සකස් වූ හැටි දැනගත්විට... මහා වංචාව හඳුනාගත් විට... ඒ හා බැඳුනු ආදීනවය දැනගත් විට... මේ සිද්ධිය ක්‍රියාත්මක වූ ඇස - රූප, කණ - ශබ්ද, නාසය - ගන්ධ, දිව - රස, කය - ස්පර්ශ, මේ සියලු දේ ඔස්සේ සකස් වෙන මන - ධර්ම ගැන හෙවත් ලෝකය ගැන මහා කලකිරීමක්මයි ඇතිවෙන්නේ. ඒ කලකිරීමම නිස්සරණයට හේතු වෙනවා... අනිශ්‍රිත වෙන්නට හේතු වෙනවා... ආශ්‍රයන්ගෙන් තොර වෙන්නට පටන් ගන්නවා...

මේ ඇහෙන, පෙනෙන, දැනෙන, විඳින ක්ෂණයක් පාසා යමෙකුට සත්වයෙක්, පුද්ගලයෙක්, ද්‍රව්‍යයක්, වස්තුවක් යන විකෘති ඥාණ පහල වෙන තාක් ලෝකය හටගන්නවා. එහෙත් මේ අවබෝධයට පත්වූ ඥානය පහල වූ ලෝකය විනිවිද දකින්නට දහම් ඇස පහල වූ පුද්ගලයාට මේ විකෘතිඥානයන්ගෙන් හෙවත් විඤ්ඤාණයන්ගෙන් මායාව පෙන්වන මොහොතක් පාසා ඒ මායාව පසාරු කරගෙන... විදගෙන... විනිවිද දකිමින් ඒ මායාව මායාව සේ හඳුනාගන්නවා... 

මෙන්න මේ ක්‍රියාවලියට භාවනාව කියනවා... ඒ විනිවිද දැකීමට විදසුන් ඥානය කියනවා... විදසුන් වැඩීම කියනවා... ඒ විනිවිද දැකීම උදෙසා ඒ මොහොතේ ඇතිවන සමථ ස්වභාවයට සමථ භාවනාව කියනවා..

දහම් ඇස පහල වීම නිසාම... ඥානය පහල වූ නිසාම... දැක්ම හරිගිය නිසාම... අරමුණක් හමුවේ ඒ ක්ෂණයෙහිදී ඒ දැක්ම ක්‍රියාත්මක වන මොහොතක් පාසා ඒ හා එකට බැඳී නිවැරදි දැක්මෙන් යුතු සිහිය, විරිය, නුවණ ක්‍රියාත්මක වෙනවා... ඒ තුල අරමුණ විනිවිද දකින නිසාම පංච නීවරණ හෙවත් කාමච්ඡන්දයක්, ව්‍යාපාදයක්, උද්ධච්චයක් කුක්කච්චයක්, විචිකිච්ඡා, ථීනමිද්ධ කියන්නාවූ කෙලෙසීම සිද්ධ වෙන්න හේතු නැතිව යනවා... 

ඒ කෙලෙස් දවා හැරීම ධ්‍යානයක් ලෙසින් අත්දැකගන්නටත් හැකිවෙනවා... කෙනෙක් ඒ ධ්‍යාන සුවයේ රස බලන්නට නතර වෙන්නටත් පුළුවන්... ඒත් විදර්ශනාව ප්‍රබලව නැගෙන පුද්ගලයා ඒ දැහැන් තල හෙවත් පැවැත්ම තුලම වූ බ්‍රහ්ම තල නම්වූ පැවැත්මද විනිවිද දකිනවා... එයත් රූප, වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ මායාවෙන්ම මිස ඉන් තොරව සකස් වූ දෙයක් නොවන බව දකිනවා... එහිද ආශ්වාදය, ආදීනව, නිස්සරණය දකිනවා... ඒ දැහැනත් ඒ අවස්ථාවේ ඒ පුද්ගලයාට ආර්ය කමටහනක් බවට පත්වී තිබෙන නිසාම දැහැන් තල හෙවත් බ්‍රහ්ම තලයන්හි පැවැත්මත් නිවන පිණිසම වූ කමටහනක් බවට පත්වෙනවා.

ඒ ආකාරයෙන් තුන් ලෝකයේම පැවැත්ම මොහොතක් මොහොතක් පාසා ක්ෂය කරන්නට නිරෝධ කරන්නට විජ්ජාව දුටු මොහොතේ පටන් හැකිවෙනවා. සියලු දෑ කර්මස්ථානයක්ම බවට පත්වෙනවා.  

ඒ නිරෝධය පූර්ණ වන්නට ගත වන කාලයට ආර්ය අෂ්ඨාංගික මාර්ගය පිළිපදිනවා යැයි පවසනවා. 

ඒ තුල අතහැරී මිදී නොඇලී යන මොහොතක් පාසා සීලයක පිහිටනවා... ඒ සීලය පිහිටන මොහොතක් පාසා සමාධියට පත්වෙනවා... ඒ සමාධිය නැවතත් විදසුන් නුවණින් ප්‍රඥාව පිණිසම හේතු වෙනවා... 

දුටු නිවනකට... අවබෝධයෙන් යුතුව කටයුතු කිරීමක් මිස... දැනුමෙන් වචන හරඹයෙන් තර්ක වාදයෙන් නොයෙක් නොයෙක් වත් පිළිවෙත් තුලින් නුදුටු නිවනක් මතු දැකගැනීමක් නොවේ.

මේ දහම් ඇස පහල වූ පුද්ගලයාට ආර්ය ශ්‍රාවකයෙක් කියනවා. සෝතාපන්න ආර්ය ශ්‍රාවකයෙක් නම් මොහොතක් මොහොතක් පාසා සිහිය පවත්වන්නේ නම් ඒ පුද්ගලයාට අප්‍රමාදී ආර්ය ශ්‍රාවකයෙක් කියනවා. 

සෝතාපන්න ආර්ය ශ්‍රාවකයෙක් මේ අවබෝධයෙන් යුතු නමුත් විශේෂ සිහියක් පැවැත්වීමක්, විරියක් යෙදීමක් සිදුනොකර ඒ ලැබූ අවබෝධයේ සුවයෙන් කාලය ගත වෙන්නට ඉඩ හරින්නේ නම් ඒ පුද්ගලයාට ප්‍රමාදී ආර්ය ශ්‍රාවකයෙක් කියනවා. බුදු හිමියන් පවසන්නේ කොතරම් ප්‍රමාද වුවත් නිවනටමයි නැමී සිටින්නේ... නිවනින්මයි කෙලවර වන්නේ ඒ නිසා ඒ අය ගැන නැවත හිතන්නට දෙයක් නැති බවයි. 

ඔවුන් ලත් අවබෝධය නැති කරන්නට දහම් ඇස අන්ධ කරන්නට තරම් ඔවුන්ගේ කෙලෙස් ප්‍රබල නැහැ.

දහම් ඇස පිණිස දැකිය යුතු පෙර නොඇසූ විරූ දහම - 1 කොටස

මේ උතුම් බුදු දහමට දහම් ප්‍රතිරූපක බොහෝමයක් එන්න එන්නම වැඩිවෙනවා... ගැඹුරු දහම ලෙසිනුත් බුදු දහම නොවන අන්‍ය වූ දහමක්ම ප්‍රකට වෙමින් පවතිනවා... ශ්‍රවණය කරන්නවුන්ද බුදු හිමියන් පෙන්වා දුන් නිසි සිහියෙන් තොරව දත්ත රැසක් හිස මත පටවාගෙන ශ්‍රවණය කරන්නට පෙළඹීමෙන් නිසි ඵල ලබන්නට නොහැකි වී තිබෙනවා. 


මේ අපූරු පෙර නොඇසූ විරූ දහම තුල දැකිය යුතු දේ... ලැබිය යුතු දේ... සිදුවිය යුතු දේ කෙටියෙන් නමුත් පිළිවෙලින් පෙන්වා දෙන්නට මෙතැන් පටන් ලිපි කිහිපයක් තුලින් කටයුතු කරන්නම්. 

රූප, වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ කියන්නාවූ පංච ස්කන්ධයේ ඇත්ත ඇති ආකාරයෙන් නොදන්නා තාක් මේ ස්කන්ධ පහට ඡන්ද රාගයෙන් බැඳෙනවා... ඒ බැඳීමට දෙන නම තමයි පංච උපාදානස්කන්ධය... මෙන්න මේ පංච උපාදානස්කන්ධයේ ඉපදීමම... සකස් වීමම දුකහි හටගැනීමයි.... 

යමෙක් මේ පංච උපාදානස්කන්ධයේ සමුදය හෙවත් දුක්ඛ සමුදය දකිනවා... ඒ දැක්ම කුමක්ද? අන් කවරක්වත් නොවේ පංචස්කන්ධයේ මායා මුලාව හඳුනාගැනීම හෙවත් ඇත්ත ඇති සැටියෙන් දැකීමයි... පංචස්කන්ධයේ අනිච්ච, දුක්ඛ, අනත්ත බව දකිනවා. ඥානය පහල වෙනවා.  එසේ නොදැක නම් පංච උපාදානස්කන්ධයේ අනිච්ච දුක්ඛ අනත්ත දකිනවාය කියලා කරුණක් විද්‍යාමාන වෙන්නේ නෑ.  

ඒ ක්ෂණයේම තමයි ඒ පුද්ගලයාට අවබෝධ වෙන්නේ පංච ස්කන්ධයේ අනිච්ච දුක්ඛ අනත්තබව නොදැක්ක නිසාම... පංච ස්කන්ධයේ මායා ක්‍රියාකාරිත්වය නොදන්නාකම නිසාම... ඒවා කෙරෙහි ඡන්දරාගයක් හටගත් බව... එතැන් පටන් ඒ පුද්ගලයා මෝහය / අවිද්‍යාව සකස් වූ තැන හඳුනාගන්නවා... 

පංච ස්කන්ධයට හෙවත් රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණයට රැවටුනු රැවටිල්ල හඳුනාගන්නවා... ඒ රැවටිල්ල නිසාම ඒවා නිච්ච, සුඛ, අත්ත වශයෙන් සංඥා විපරීතයක සිටි බව හඳුනාගන්නවා. ඒ සංඥා විපරීතය නිසාම ඒවාට අන්ධයෙක් වගේ බැඳුණු බව දැනගන්නවා... ඒ බැඳුනු නිසාම පංච උපාදානස්කන්ධය හෙවත් සියලු දුක් රැස ක්ෂණයක් පාසා සකස් වී භවය, සසර ඒ ඒ මොහොතේම තනන බව හඳුනාගන්නවා... 

“මම“ හැදෙන හැටි... “මම“ පවතින හැටි... මේ සියල්ල තතු සේ දැනගන්නවා... ඒ නිසාම විසි ආකාරයක සත්කාය දිට්ඨිය පහවෙනවා... “මම“ මූලිකව පැවැත්ම මූලිකව යම්තාක් කුකුසක් තිබ්බේ නම් විචිකිච්ඡා නම් වූ ඒ සියල්ල දුරු වෙනවා... කල යුත්ත දැනගන්නා නිසාම බාහිරය මත යැපෙමින් වත් පිළිවෙත් තුලින් හෙවත් ලෝකය මතම පිහිටමින් මායාවකින් සකසා පෙන්වන ලෝකයට අදාල දේවල් වලින් ලැබිය හැකි නිරෝධයක් නැති බවත් දැනගන්නවා... සීලබ්බතපරාමාස සංයෝජනයත් ඒ අයුරින් පහ වෙනවා...

අන්න ඒ ඥානය පහල වූ... පෙර නොඇසූ විරූ දහම්හි ඇස පහල වූ ඒ පුද්ගලයාට ඒ ප්‍රබල ඥානයත් සමඟින් අඥානකම් පහව යනවා... අඥානකම නිසාම සතර අපාගත උපතක් ලබාදෙන්නට හේතුවන යම්තාක් කෙලෙස් උපදින්නට හේතු තිබුනේ නම් ඒ හේතු නිරෝධ වෙනවා. සතර අපාගත මට්ටමින් ලෝකය නිරෝධ වෙනවා. 

කාම ලෝකය, රූප ලෝකය, අරූප ලෝකය, මේ තුන් ලෝකය හමුවේ ඇලීමක් බැඳීමක් හටගන්නේ රූප, වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ නම් වූ පංචස්කන්ධයේ ඇත්ත ඇති සැටියෙන් අත්දකින්නේ නැතිකම නිසාමයි.
වැදගත් දේශනයක් (මේ යොමුවෙන් පිවිසෙන්න);
මේ කරුණ හොඳින් විග්‍රහ වන පූජනීය වන්දනීය වහරක අභයරතනාලංකාර හිමියන්ගේ දහම් දේශනාවන් අතුරින් එක් දේශනාවක් මේ සමඟ එකතු කරන්නට සිත් වුනේ...  මේ පෙර නොඇසූ විරූ දහම කැටි කොට මෙසේ සටහනක් තබන්නට සිත්වූයේද නැවත මේ දහම් දේශනය අසන්නට ලැබුණු නිසායි... 

අනෙක් කාරණය තමයි මේ සියලු දෑ උතුම් ත්‍රිපිඨක සත්ධර්මය තුල අපූරුවට ගලපා පෙන්වා දී තිබීම.  අර්ථ නොදැන බැලුවොත් නම් හසුවන්නේ වෙනමම අදහස්මයි.  ලැබෙන්නේ වෙනමම තේරුමක්ම තමයි... ඒ නිසා කළ්‍යාණ මිත්‍ර ආශ්‍රයෙන් සත්ධර්ම ශ්‍රවණයෙන් තමන්ගෙන් විය යුතු යෝනිසෝ මනසිකාරය සහ දහම් අනුදහම් පටිපදාව යන සෝතාපන්න අංග 4ට මුල් තැන ලබාදෙමින් අප්‍රමාදී වන්නට උත්සාහවන්ත වන්න!