ඇයි අපි මහණදම් පුරන්නා වූ හිමිවරුන්ට ආහාරයෙන්, වස්ත්‍රයෙන්, සේනාසනයෙන්, ගිලාන ප්‍රත්‍ය හෙවත් ඖෂධ සහ වෙනත් ඉල්ලන්නා වූ නොඉල්ලන්නා වූ සෑම ආකාරයකින්ම ආදියෙන් උපකාර කරන්නේ? “අනේ මේ හිමියන්ට මේ දේවලුත් සොයාගන්නට ගියොත් මේ සසර දුක් කෙලවර කරගන්නට තවත් ප්‍රමාද වෙනවා. අපහසුවක් වෙනවා. ඒ අපහසුව නැතිවෙලා ඉක්මනින්ම දුක් කෙලවර කරගන්නට අපටත් ඒ නිවීම තුලින්ම යහපතක්ම සැලසෙන්නට මේ කරන උපකාරයන් සියල්ලම හේතු වාසනා වෙත්වා!“ කියලා හිතලා නේ නේද? ඇයි එහෙම හිතලා දෙන්නේ. මහණදම් පුරන්නට ගිහින් තියෙන්නේ දුක් කෙලවර කරගැනීමේ අදහස ඇතිවයි. දුක් කෙලවර කරගෙන නිවී සැනසීම තුලින් බුදු හිමියන්ගේ සැබෑම ආර්ය ශ්‍රාවක දරුවෙක් බවට පත්වෙන්නටයි. මේ සියල්ලම තමන්ගේ කැමැත්තෙන් කල නිසාම ඒ කැමැත්ත ඉෂ්ඨ කරගන්නට එහි අගය දන්නා පිරිස උපකාර කරනවා. එතකොට ඒ දේ ඉෂ්ඨ කරගන්නට තවත් පහසුවෙන නිසාවෙන්.
මෙන්න මේ නිසා බුදු හිමියන් කියනවා තමන්ට මේ ලැබෙන පිණ්ඩපාතයට, වස්ත්‍රයට, සේනාසනයට, ගිලාන ප්‍රත්‍යයට ණයකාරයෙක් වෙන්න එපාය කියලා. මිනිස්සු මේ දේවල් දුක් මහන්සියෙන් උපයාගත්ත දේවලින් දෙන්නේ තමන්ගේ පෞද්ගලික හිතවත්කමක් ලාභයක් ප්‍රයෝජනයක්වත් බලාගෙන නෙවේ ඒ නිසා ඒ දේට ණයකාරයෙක් වෙන්නේ නැතිව වහ වහා නිවීම උදාකරගන්නට කටයුතු කරගන්න කියලා කියනවා. මේ උපදේශය තදින්ම හිතට ගත්ත බොහෝ හිමිවරුන් මීළග ආහාර අරිහත්වයට පත්වෙලා මිසක් ගන්නේ නෑ කින දැඩි අධිශ්ඨානයෙන් යුතුව කටයුතු කොට අරිහත්වයට පත්වූ අවස්ථාවනුත් තියෙනවා.
දැන් ඉතින් ඇයි මම මේ දේවල් කිව්වේ? එහෙම කරන හිමිවරුන් අගය කරලා නොකරන හිමිවරුන්ට ගරහන්නද? අපෝ නෑ. මේ දේවල් මතුකරන්නේ අප්‍රමාදී භාවය ඇතිකරගන්නා ගිහි පරිසරයක ඉන්න ශ්‍රාවකයෙක් වශයෙන් මේ කරුණ කොහොමද තමන්ගේ ජීවිතයට ලංකරගන්නේ කියලා මට හැකි අයුරින් මතු කරලා දෙන්නටයි.
ඔන්න ඔබ ධර්මයට ලැදි නිවීමක් කැමැති පුද්ගලයෙක්ය කියලා ඔබේ සැමියා, ඔබේ බිරිඳ, ඔබේ දරුවන්, ඔබේ නිවැසියන්, ඔබේ ඥාතීන්, ඔබේ හිත මිත්‍රාදීන් හඳුනාගන්නවා. දැන් ඒ අය ඔබට ඔබේ කැමැත්ත ඉෂ්ඨ කරගන්නට වචනයකින් හරි උපකාර කරනවාද නැත්ද? මේ අය ඉතාමත් යහපත් නම් ඔබේ කැමැත්තත් ඉහලින්ම තියෙනවා නම් ඔබව ඒ අයට හැකි උපරිමයෙන් කටයුතු වලින් නිදහස් කොට ආහාර පානයෙන් වස්ත්‍රයෙන් ඉන්න තැනකින් අසනීපයට බෙහෙත් ආදියෙන් සංග්‍රහ කොට උපකාර කරනවාද නැත්ද? වචනයකින් හරි මෙන්න මෙතැන මේ වගේ කළ්‍යාන මිත්‍රයාණන්වහන්සේ කෙනෙක් වැඩ සිටිනවා. ඒ හාමුදුරුවෝ හෝ ඒ පුද්ගලයා මෙන්න මේ වගේ නිවී සැනසීමට ධර්මයක් පෙන්වා දෙනවා... හැකිනම් ගිහින් අහන්න... නැතිනම් මෙන්න ඒ ධර්ම දේශනාවල පටිගත කරගත්ත දෑ, මෙන්න පොත පත ආදී නොයෙක් නොයෙක් ආකාරයෙන් උපකාර කරනවාද නැත්ද?
සමහර වෙලාවට මම අත්දැකලා තියෙනවා සමහර අය කියනවා අනේ ඔය විදියට හිත වඩාගන්නට අපිට ශක්තියක් නෑ දැන් දරුවෝ කාලය ගත වෙලා බොහෝම අපි මෝඩ වුණා ඔයාලා වගේ තරුණ කාලේ හිතුවනම් කියලා හිතෙනවා ඒ නිසා ඔයාවත් ඒ ටික කරගන්න මෙන්න අපෙන් උපකාර කියලා කදුලු පිරි දෙනෙතින් කියන අවස්ථා තියෙනවා. සමහර ස්වාමීන්වහන්සේලා සමහර වෙලාවට කියනවා ගිහි පරිසරයක ඉදගෙන ඔය කැමැත්තෙන්ම කරන කැපවීම නිසාම ඕනෑම වෙලාවක මේ වෙනුවෙන් ඕනෑම ආකාරයක උපකාරයක් කරන්නට සහතික වෙනවා කියලා. සමහර මිත්‍රයන් සිටිනවා කෑම වේලක් දෙන්නට ලැබීමත් සතුටක් කියලා හිතන. දැන් මේ දේවල් බොහෝ විට බොහෝ දෙනෙක් යොදාගන්නේ මාන්නය වඩාගැනීමටමයි. මම අන් අයට වඩා උසස් කියන හැඟීම ඇතිකරගන්නටමයි. එහෙමත් නැතිනම් සැබෑවටම මාර්ගඵල ලාභියෙක් නම් මේ කරන හරිය මදැයි කියලා තමන් ඉන්නා තත්වයකින් සෑහීමකටම පත්වීමටයි. කාටද වරදින්නේ? සමහර විට මාර්ග ඵල ලාභියෙක් නොවේ නම් ගිනි ගෙන දැවෙන ශ්‍රමණ පෙරේතයන් වගේ උපාසක උපාසිකා පෙරේතයෙක් පෙරේතියෙක් වෙන්නට තරම් මේ කරන දේ බරපතල වෙන්නටත් පුළුවන්. ඇයි තමන් නොකර දෙයක් මවාපාලා තමන්ගේ අවශ්‍යතාවයන් සපුරාගන්නට වැඩකටයුතු කල නිසාත් තවත් කෙනෙක්ට ණයකාරයෙක්ම වෙච්ච නිසාත්මයි. ඒ නිසාවෙන් අරිහත්වයෙන් මෙහා තත්වයක සිටින අරිහත්වය පතන නිවීමක් කැමැති සෑම දෙනෙක් තුලම මේ අප්‍රමාදීබව ණයකාරයන් වීමට අකමැති බව වැඩීම තුලින්ම ඇතිකරගන්නට හැකියාවක් තියෙනවා.
දැන් ඉතින් හිතන්න මෙච්චර මෙහෙම උපකාර කරනවිට මම හෝ ඔබ හෝ ඔහේ බහුතරයක් ලෝකය අල්ලාගෙන පිස්සු නටන උමතු පිරිසක් වගේ කාලය වැය කර කර ඉන්නවා නම්? කථා කලොත් ප්‍රලාප අරයගේ මෙයාගේ ඕපාදූප නම්... වැඩක් කලොත් ලෝකය අල්ලාගන්නට මිස අතහැරෙන්නට නෙවේ නම්... කථා කරන විටත් උපකාර කරන්නේ අනෙක් අයටත් දැවෙන්න අසහනයට පත්වෙන්න නම්... විවේකයක් ලැබෙන එකත් ගත කරන්නේ නිදාගන්න නම් නැතහොත් වෙනත් ආශ්වාදගෙන දෙන වැඩපිලිවෙලක නිරත වෙන්න නම්... අගය කලොත් අගය කරන්නේ ලෝකයේ අසාර වැඩපිලිවෙල නම් රාගයෙන්, ද්වේශයෙන්, මෝහයෙන් දැවෙන වැඩපිලිවෙලම නම් දැන් ඒ වචනයකින් පවා උපකාර කරන අයට ණය කාරයෙක් වෙනවද නැත්ද?
ඒ නිසා ඒ හැමදෙයක්ම තමන්ගේ අප්‍රමාදීබව පිණිසම උපකාර කරගන්න. නිදිමත එනවා නම් අනවශ්‍ය වෙලාවක හිතන්න “මගේ සැමියා රැකියාවක් කරලා කාලය කැපකරගෙන මගේ අවශ්‍යතාවයන් සපුරා දෙන්නේ මට මේ වගේ හොදට කාලා නිදාගන්නද? මගේ බිරිද වෙහෙස වෙලා මම වෙනුවෙන් දරුවන් බලාගෙන උයලා පිහලා කෑම බීම ටික සපයලා දෙන්නේ ගෙදර ඇවිත් මහන්සියි කියලා නිදාගන්නද? නැතිනම් අනුන්ගේ ඕපාදූප කථා කර කර ඉන්නද? මගේ අම්මා තාත්තා මාව මේ ලෝකෙට බිහි කරලා මේ දුර්ලභ මනුෂ්‍යත්වයක් ලබාගෙන හිටිය මට උපතක් ලබන්නට උපකාරයක් වුණා. ඒ අය කලේ නොගැලෙපෙන දෙයක් වුණත් ධර්මයට අනුව පහත් දෙයක් වුණත් ඒ අවස්ථාව නිසාම මට අවස්ථාවක් ලැබී තියෙනවා දැන් මිදෙන්නට. ඒ අයවත් සසර දුකෙන් ගලවාගන්නට එහෙනම් මම කරන්නට ඕන හැමෝම කරන දේද?“ ආදී නොයෙක් නොයෙක් ආකාරයෙන් සිතමින් වරදෙන් සිත කය, වචනය මුදවාගන්නට ගලවාගන්නට සිහියෙන් සිටිය යුතු වෙනවා නොවුනොත් ඒ ණය ගෙවන්නට සසර මදි වෙන බවත් සිතාගත යුතු වෙනවා.
කිසිම උපකාරයක් කරන්නේ නැති බිරිදක් ඉන්නවා නම් සැමියෙක් ඉන්නවා නම් තමන්ට අව්වෙන් වැස්සෙන් රැකිලා ඉන්න නිවසක් දීලා තියෙන එකට, බැන බැන නෝක්කාඩු කියමින් හෝ වේවා කෑම බීම ටික සපයා දෙන එකට සිතින් ස්තූතිවන්ත වෙමින් මේ ටික හරි තියෙනවානේ අඩුම ගානේ පාරේ හිගාකන්න වෙලා නෑනේ කියලා හිතලා මනස තුල අප්‍රමාදී බව සකසාගත යුතු වෙනවා. පාරේ සිගන්න වෙලා නම් ඒකත් හොදයි ලගටම මට කීයක් හරි ගෙනත් දෙන මිනිස්සුනේ ඉන්නේ නැතිනම් අතපාපු සැනින් කීයකින් හරි උපකාර කරන මිනිස්සුනේ ඉන්නේ ඒ අයට ණයකාරයෙක් නොවී මම කොහොම හරි මේ සසර දුකෙන් මිදෙනවා කියන තැනට සිත සකසාගත යුතු වෙනවා.
අපි බොහෝමයක් නැති දේවල්ම කියන්න පුරුදු වෙලා ඉන්නවා. මගේ මහත්තයා මට උදව් කරන්නේ නෑ, මගේ බිරිදගෙන් කිසිම සහායක් නෑ, මේ දරුවෝ එක්ක කොහොමද අප්පා නිවනක් ගැන හිතන්නේ, අපෝ අපේ අම්මලා තාත්තලා කැමති නෑනේ... ඒ අය කැමැති මම බැදලා දරුවෝ හදලා පිලිවෙලක් වෙනවාට ඒ අයට විරුද්ධ වෙලා කොහොමද... මෙන්න මේ වගේ කියන්නේම මොනවද? නිවසේ කිසිම දෙයකින් අඩුවක් නැතිනම් රටේ තියෙන තත්වයක් හරි යොදාගන්නවා... තමන්ගේ රටේ සැනසීමෙන් ඉන්න පුළුවන් නම් ලෝකයේ මෙහෙමයි කොහොමද ඉතින් නිවන් දකින්නේ කියලා ලෝකයේ වෙනත් රටක් හරි ගාවාගන්නවා. ලෝකයම හොදයි නම් ධර්මයෙන් පිරිලා නම් උල්කාවක් පිටසක්වල ජීවි ප්‍රහාරයක් එන්න තියෙනවා හරි කියලා බාධාවක් ඇතිකරගන්නවා. මේ කිසිවක් නැතිනම් අයියෝ මේ කාලේ බුදු හාමුදුරුවෝ නෑනේ අපි ඊලඟ බුදු හාමුදුරුවෝ එනකම් ඉන්නවා කියලා හරි ප්‍රමාදයක් ඇතිකරගන්නවා. ඉතින් කොහොම හරි තමන්ට උපතින්ම ලැබී තියෙන අකුසලයට රාගයට, ද්වේශයට, මෝහයට ලැදී සිතටම රුකුල් දෙන්න තමයි හිතන්නේ.
ඉතින් වරද තියෙන්නේ මේ බාහිර පරිසරයක නෙවේ යන්න වටහාගෙන තමන්ගේ සිතට මේ ලැබෙන සෑම අවස්ථාවක්ම භාවිතා කොට උපක්‍රමයෙන් ඒවායෙන් ප්‍රයෝජන ගෙන තමන් තුල මේ නිවීම ඇතිකරගැනීමටයි කටයුතු කල යුතු වෙන්නේ. අනුන්ගේ වැරදි හොයන මන නැතිකරගෙන තමන්ගේ වැරදි හොයන මන වඩාගත යුතු වෙනවා. සියලු භාවනාවන්ද ධර්මයන්ද ඒ වෙනුවෙනුයි තියෙන්නේ. ඒවා යොදාගෙන දැන් තියෙන අවස්ථාවෙන් දැන් තියෙන තත්වයන්ගෙන් ප්‍රයෝජන ගන්නා අප්‍රමාදී ශ්‍රාවකයෙක් බවට පත්වෙන්න ප්‍රඥාවන්ත වෙන්න. ප්‍රඥාවන්තයා සෙනසුරාගෙනුත් වැඩගන්නවා කියලා ජනප්‍රවාදයේ ඇති කථාවකුත් තියෙනවා. අන්න ඒ වගේ කුසලයට මුල්තැන දී අකුසලයට සහමුලින්ම උදුරා දමමින් තමන් කෙරෙහිම නැමී සිටිමින් අන් අයට ණයකාරයෙක් නොවී සිත, කය, වචනය සංවරත්වයෙන් යුතුව තමන්ගේ ගැලවුම්කාරයා වෙන්නට කටයුතු සම්පාදනය කරගන්න. එවිට තමන්ට පමණක් නොවේ මුළු විශ්වයටම යහපත උදාවෙනවා. තෙරුවණේ ආශිර්වාදය මේ වෙනුවෙන් උපරිමයෙන් ලැබේවායි පතමි!
No comments:
Post a Comment