නිර්වාණ ධර්ම බ්ලොග් අවකාශය | Nirvana Dhamma BLOG

About this Blog | මෙම බ්ලොග් අඩවිය ගැන...

"මෙය “නිර්වාණ ධර්ම“ වෙබ් අඩවියට සමගාමීව ඔබ වෙත ලබාදෙන බ්ලොග් අඩවියයි! මෙසේ අවස්ථාවන් රැසක් තුලින් සත්ධර්මය කැටිකොට ලබාදෙන්නේ අතිශයින්ම බුද්ධිමත් සැබෑම මිනිසුන් වෙත පමණයි! ඔබේ ආගම ජාතිය කුලය තත්ව තානාන්තරය කුමක් වුවත් සැබෑම මිනිසෙක් ලෙසින් ප්‍රයෝජනයට ගෙන යහපත, සැබෑ සතුට, සැනසීම උදාකරගැනීම පිණිස “නිර්වාණ ධර්ම“ වෙතින් වෙන් වන අවකාශයයි!“
"This is the BLOG of "Nirvana Dhamma" web site which is Strictly for Human beings only! No matter what your status in this world is, No matter what you believes on, No matter what your religion is, Only matter is that whether you are a human being or not to gain the maximum benefits through all these efforts!"

Tuesday, May 13, 2014

නිවන නොලැබෙන්නට හේතු කෙටියෙන්!

බුද්ධ වර්ෂ 2558 වෙසක් පුන් පොහෝ දිනත් එළඹිලා තියෙනවා. සම්මා සම්බුදු පියාණන්වහන්සේගේ පරිනිර්වාණයෙන් වර්ෂ දෙදහස් ගණනක්ම ගෙවී ගොස් තිබෙන මොහොතක ඇයි මේ නිවන ප්‍රමා කියලා තම තමන්ගෙන්ම විමසා බැලීම වැදගත් වෙනවා. අන්න ඒ ගැටලුව මුල්කරගෙන මෙම සටහන තබන්නේ මෙම ගැටලුවට පිළිතුරක් සොයා ගැනීමට වැදගත් වේ යැයි සිතෙන කරුණු කීපයක් ගොනු කිරීමටයි. සම්මා සම්බුදු පියාණන්වහන්සේ විසින්ම මෙම ගැටලුවට හේතු විය හැකි කාරණා කීපයක් පෙන්වා දී තිබෙනවා. අන්න ඒ කරුණු කීපයක පිළිබඳව ඉතාමත් කෙටියෙන් මෙහි පෙන්වා දෙන්නම්. පසුවට මෙහි දීර්ඝ විස්තරයක් ලබාදෙන්නම්.

දිනක් බුදු හිමියන් ගංගා නම් නදියේ සැඩ පහරේ ගසාගෙන යන දරකඳක් දැක ඒ දර කඳ උපමා කොට තමයි මේ කරුණු කීපය පෙන්වා දෙන්නේ. මහා ප්‍රාඥයානන්වහන්සේ විසින් බොහෝම අපූරුවට පෙන්වා දී තිබෙන්නේ සැඩපහරකට හසුව ගසාගෙන යන දරකඳකට උරුම විය හැකි විපත්ති ටිකක් තමයි. ටිකක් නෙවේ ඇත්තටම කියනවා නම් දරකඳ සමුදුර හමුවට යෑම වැළැක්වීමට මේ කරුණු 8න් ඔබ්බට ගිය අමතර කරුණක් තවත් නෑ කිව්වොත් නම් නිවැරදියි. {අඩංගු ත්‍රිපිඨක ග්‍රන්ථය - සූත්‍ර පිඨකය < සංයුත්ත නිකාය 4 (සළායතන වග්ග) < 4. චතුත්ථ පණ්ණාසකය < 19. ආසිවිස වග්ගය < 4. දාරුක්ඛන්ධොපම සූත්‍රය < පිටු අංක 350 – 355 (PDF පිටු අංක 376 – 379)} 
1. දරකඳ මෙතෙරට ගොඩ ගැසීම
2. දරකඳ එතෙරට ගොඩ ගැසීම
3. දරකඳ දියෙහි මැද ගිලා බැසීම
4. දරකඳ වැලි දූපත් වැනි ගංගාවන් මැද තිබෙන්නාවූ ගොඩබිම් වලට ගොඩ ගැසීම
5. දරකඳ මිනිසුන් ගැනීම
6. දරකඳ මිනිසුන් නොවන අමනුස්ස පිරිස් ගැනීම
7. දරකඳ දිය සුළියකට හසුවීම
8. දරකඳ ඇතුලතින් කුණුවී ගඟ තුලදීම දිරායෑම 
ඉතින් ගංඟාවේ ගසාගෙන යන දරකඳකට මේ විපත්ති ටික හමුවුණේ නැතිනම් අනිවාර්යෙන්ම දරකඳ මුහුදට යනවා යනවාමයි නේදැයි සිතා බලන්නකෝ. ගංඟාව ගලා බසින්නේ මුහුදට නිසා ඒ ගංඟාවේ ඉහත සඳහන් බාධක වලට හසු නොවී ගසාගෙන යන ඕනෑම දෙයක් ගංඟාව සේම අවසානයේ මුහුද හමුවීම ඒකට හේතුව වෙනවා.

ඉතින් දැන් බලමු දරකඳ කොහොමද මේ නිවීමක් සැනසීමක් සොයන්නා වූ ප්‍රඥාවන්ත ශ්‍රාවකයාට සමාන වෙන්නේ කියලා.

ගංඟාව උපමා කලේ ආර්ය මාර්ගයටයි. නිර්වාණය තමයි මහා සමුදුරට උපමා කලේ. ගංගාවක් අනිවාර්යෙන්ම මහා සමුදුර හමුවෙනවා වගේ ආර්ය මාර්ගයේ ගමන් කරන්නෙකු අනිවාර්යෙන්ම නිර්වාණ ශාන්තිය ලබනවා. එතකොට දැන් දරකඳ උපමා කරගන්න ඕන මේ නිවීම පිණිස උනන්දුවන උත්සාහවන්ත වන තම තමන්ගේ ජීවිතයටයි. එහෙනම් මේ දරකඳ අනුව කියන්නාවූ සෑම දෙයක්ම ඔබගේ ජීවිතයට ගලපා ගන්නට තම තම නැණ පමණින් විමසිය යුතුයි.

1. දරකඳ මෙතෙරට ගොඩ ගැසීම 

ආධ්‍යාත්මික ෂඩ්ආයතන හෙවත් ඇස, කණ, දිව, නාසය, කය සහ මන කියන්නාවූ ආයතනයන්ට හසුවීම නිසාවෙන්, ඒවායේ ඇලී ගැලී බැඳී ගැටී සසර පැවැත්මට කරගසාගැනීම නිවීම ප්‍රමාද වීමට / නිවනක් නොලබන්නට හේතුවක් වෙනවා.

2. දරකඳ එතෙරට ගොඩ ගැසීම

බාහිර ෂඩ්ආයතන හෙවත් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ සහ ධර්ම කියන්නාවූ ආයතනයන්ට හසුවීම නිසාවෙන්, ඒවායේ ඇලී ගැලී බැඳී ගැටී සසර පැවැත්මට කරගසාගැනීම නිවීම ප්‍රමාද වීමට / නිවනක් නොලබන්නට හේතුවක් වෙනවා.

3. දරකඳ දියෙහි මැද ගිලා බැසීම

නන්දිරාගයට හසුවීම හෙවත් තැන තැන හාවෙමින් තණ්හාවෙන් යුක්තව ඇලී ගැලී බැඳී ගැටී කටයුතු කිරීම නිසාවෙන් නිවීම ප්‍රමාද වීමට / නිවනක් නොලබන්නට හේතුවක් වෙනවා.

4. දරකඳ වැලි දූපත් වැනි ගංගාවන් මැද තිබෙන්නාවූ ගොඩබිම් වලට ගොඩ ගැසීම

“මමත්වය“ තවත් ආකාරයකට කියනවා නම් “මාන්නය“ යන කෙලෙස් ධර්මයට හසුවීම “මම“ මුදුන් පත්කරගෙන නොයෙක් තැන්හි ඇලී ගැලී බැඳී ගැටී කටයුතු කිරීම නිසාවෙන් නිවීම ප්‍රමාද වීමට / නිවනක් නොලබන්නට හේතුවක් වෙනවා.

5. දරකඳ මිනිසුන් ගැනීම
නොයෙක් පිරිස් සමඟ එකතුව ඒ ඒ පිරිස් වලට සැපයේදීත් දුකේදීත් උපකාර කරමින් නොයෙකුත් පුද්ගලයින් නිසාවෙන් නොයෙක් ආකාරයෙන් කාර්යබහුලත්වයට පත්ව යමෙක් ඇලී ගැලී බැඳී ගැටී කටයුතු කිරීම නිසාවෙන් නිසි නිවීම පිණිස මෙනෙහි කල යුතු දෑ මෙනෙහි කිරීමට කාලය වැය කිරීමට අතපසු වීමෙන් ආදී බොහෝ කරුණු හේතුවෙන් පුද්ගල ඇසුර නිවීම ප්‍රමාද වීමට / නිවනක් නොලබන්නට හේතුවක් වෙනවා.  

6. දරකඳ මිනිසුන් නොවන අමනුස්ස පිරිස් ගැනීම

යමෙක් මාර්ගය වැඩීම හෝ වේවා කුසලයේ නිතර වීම හෝ වේවා සීලයක් පිහිටීම හෝ වේවා කුමන හෝ ආකරයක ධර්ම කටයුත්තක් මාර්ගය වැඩීමක් සිදුකරන්නේ මතු සුගතියක් පතා නම් දේව හෝ බ්‍රහ්ම හෝ අත්බැවයක් ප්‍රාර්ථනා කරගෙන නම් ඒ අනුව ඇලී ගැලී බැඳී ගැටී කටයුතු කිරීම නිසාවෙන් නිවීම ප්‍රමාද වීමට / නිවනක් නොලබන්නට හේතුවක් වෙනවා. එමෙන්ම නොයෙක් ආකාරයෙන් මනුෂ්‍ය නොවන අමනුෂ්‍ය පිරිස් වලට අයත් වන නොපෙනෙන සත්ව පිරිස් සමඟ කරන කටයුතු වලට ප්‍රියභාවයක් දැක්වීම ඒවැනි දෑ වෙනුවෙන් භාවනා කිරීම ආදී කටයුතු නිසාවෙන් නිවීම ප්‍රමාද වීමට / නිවනක් නොලබන්නට හේතුවක් වෙනවා.

7. දරකඳ දිය සුළියකට හසුවීම

පංච කාම ආශ්වාදයන්ට හසුවීම හෙවත් රූප ආශ්වාදය, ශබ්ද ආශ්වාදය, ගන්ධ ආශ්වාදය, රස ආශ්වාදය, ස්පර්ශ ආශ්වාදයට හසුවීම නිසාවෙන් නිවීම ප්‍රමාද වීමට / නිවනක් නොලබන්නට හේතුවක් වෙනවා. උදාහරණයකට යම් ආහාරයක් ගත හොත් ඒ ආහාරය තුලින් පමණක් යමෙකුට මේ ආශ්වාදයන් පහම ලැබිය හැකියි. ඒසේ ලබනවිට ඒවාට ඇලී ගැලී බැඳී ගැටී කටයුතු කිරීම නිසාවෙන් නිවීම ප්‍රමාද වීමට / නිවනක් නොලබන්නට හේතුවක් වෙනවා.

8. දරකඳ ඇතුලතින් කුණුවී ගඟ තුලදීම දිරායෑම

යමෙක් ධර්මයේ සැබැවින්ම හැසිරෙන්නේ නැතිව බාහිර ලෝකයාට පෙනෙන්නට පමණක් මවා පාමින් හොර රහසේම කෙලෙස් සහගත අකුසල ධර්මයන්ගේ නිරත වෙමින් තමන්ගේ වරද වරදක් සේ නොදැක ඒවා සඟවාගෙන එවැනි වැරදි අනිසි කටයුතු සමඟ ඇලී ගැලී බැඳී ගැටී කටයුතු කිරීම නිසාවෙන් අභ්‍යන්තර පිරිහීමට පත්වීමෙන් නිවීම ප්‍රමාද වීමට / නිවනක් නොලබන්නට හේතුවක් වෙනවා.

ඉතින් මේ කරුණු 8 බොහෝම කෙටියෙන් තමයි මෙහිදී පෙන්වා දුන්නේ. බුදු හිමියන් බොහෝම අපූරු උදාහරණ උපමා සාමාන්‍ය ජීවිතයෙන්ම අරගෙන සෑම විටම පෙන්වා දෙන්නේ තම තමන්ට ප්‍රඥාවන්තව ඒ උපමාවන් උදාහරණ ගලපාගෙන තම තමන්ගේ විමුක්තිය උදාකරගැනීම පිණිසමයි. ඉතින් ධර්මාවබෝධයට පත්වූ ප්‍රඥාවන්තයා මේ පතේ පොතේ තියෙන උපමා උදාහරණ පමණක් නෙවේ තමන්ගේ ජීවිතයට හමුවෙන සෑම අවස්ථාවක්ම උපරිම ආකාරයෙන් යොදාගෙන තමන්ගේ විමුක්තිය පිණිස ගලපාගන්නට සෑම විටම උනන්දු විය යුතුයි සිහියෙන් සිටිය යුතුයි. 

ඉතින් මේ කරුණු 8 පිළිබඳව තම තම නැණ පමණින් විමසා බැලීම ප්‍රඥාවන්ත ඔබට භාරයි. තම තමන්ගේ වැරදි අඩුපාඩු සොයා ගන්න. බුද්ධිමත් සැබෑම මිනිසෙක් වශයෙන් නිවීම ප්‍රමාද වීමට හෝ නිවනක් නැතිවීමට හේතු වෙලා තියෙන්නේ මා තුල මෙන්න මේ ආකාරයේ වැරදි අඩුපාඩු තිබෙන නිසාවෙන්නේදැයි විමසා බලා ප්‍රඥාවන්තව ඒ වැරදි අඩුපාඩු සකසාගෙන අප්‍රමාදීව නිවී සැනසීමට යොමුවීම අදිටන් කරගන්න. ඒ වෙනුවෙන් තෙරුවණේ ආශිර්වාදය උපරිමයෙන් ලැබේවායි මෙත් සිතින් නිති පතමි!!!

1 comment:

Unknown said...

කාලයට ගැලපෙන හොඳ බුද්ධිමත් ලිපියක්. මේ වගෙ ලිපි වලින් බුදු දහම ගැන කියා දෙනවා නම් කොච්චර අගනේද?

අපි මැරෙන්නේ කවදාද? කොහොමද? සොයාගන්න ක්‍රමයක් සිතමුද අපි සංවාදයට මෙතැනින් එකුතු වෙන්න