නිර්වාණ ධර්ම බ්ලොග් අවකාශය | Nirvana Dhamma BLOG

About this Blog | මෙම බ්ලොග් අඩවිය ගැන...

"මෙය “නිර්වාණ ධර්ම“ වෙබ් අඩවියට සමගාමීව ඔබ වෙත ලබාදෙන බ්ලොග් අඩවියයි! මෙසේ අවස්ථාවන් රැසක් තුලින් සත්ධර්මය කැටිකොට ලබාදෙන්නේ අතිශයින්ම බුද්ධිමත් සැබෑම මිනිසුන් වෙත පමණයි! ඔබේ ආගම ජාතිය කුලය තත්ව තානාන්තරය කුමක් වුවත් සැබෑම මිනිසෙක් ලෙසින් ප්‍රයෝජනයට ගෙන යහපත, සැබෑ සතුට, සැනසීම උදාකරගැනීම පිණිස “නිර්වාණ ධර්ම“ වෙතින් වෙන් වන අවකාශයයි!“
"This is the BLOG of "Nirvana Dhamma" web site which is Strictly for Human beings only! No matter what your status in this world is, No matter what you believes on, No matter what your religion is, Only matter is that whether you are a human being or not to gain the maximum benefits through all these efforts!"

Friday, September 2, 2016

සත්දහම දකිනවද? රකිනවද?

ඝණ අන්ධකාරය මකා දමා ආලෝකය ගෙන දෙන පහන් දැල්ලකට හෝ බල්බයකට පුළුවනි ජීවිතයක් වෙනස් කරන්න. ඒ ආලෝකයට පුළුවන් කෙනෙකුගේ දිවිය ආලෝකමත් කරන්න. ඒ වගේම ඒ ආලෝකයට පුළුවනි තවත් ජීවිතයක් විනාශයට පත්කරන්න. 

උදාහරණයකින් කියනවා නම්...

රාත්‍රී කාලයේ මහ මඟ දෙපස ඇති විදුලි පහන් කුළුණකට පුළුවන්, අන්ධකාරය තුල කෙනෙකුට මඟ පෙන්වන්නට උපකාරයක් වන්න... 
ඒ අන්ධකාරය තුල දකින්නට නොහැකි ලෝකය දැකගන්නට උපකාරයක් වන්නට ඒ ආලෝකය ගෙනෙන විදුලි පහනට පුළුවන්... 
ඒ ඵලය ලැබගන්නේ ඒ විදුලි පහන් ආලෝකයට හෝ වේවා විදුලි පහන් කුළුණට හෝ වේවා නොඇලුනු ජීවිතයක්මයි. එහි අලංකාරයට හෝ එයි ප්‍රයෝජනයට හෝ නොඇලුනු සිත ඒ අලෝකය දුන්නු විදුලි පහනට ඇදෙන්නේ නෑ... ඔහු හෝ ඇය කරන්නේ එහි ප්‍රයෝජනයට වටහාගෙන ඒ ආලෝකය උපකාර කරගෙන නිසි මඟ සොයාගැනීමයි... අඳුරේ දැකගන්නට නොහැකි ලෝකය දැකගැනීමයි... 

එහෙත් මේ අලෝකයට ඇලුනු සිත එයින් නිසි ඵල ලැබීම පසෙකලා ඒ ආලෝකය ලබාදෙන මේ විදුලි පහන සොයා යනවා... එය රැකගන්නට... එයට කෑදරකම් කරන්නට... එය තමන්ගේ දේපලක් බූදලයක් සේ හැසිරෙනවා... කව්ද මේ? ආලෝකය ගෙන දෙන ගිනි සිලක් හෝ වේවා විදුලි පහනක් හෝ වේවා අසල නිතරම දැකගන්නට හැකි නොයෙක් කෘමි සතුන් පළගැටියන් ගැනයි මේ කියන්නේ... ඒ අය විදුලි පහන නිසාම විනාශයට පත්වනවා... මරණය හෝ මරණයට සමාන දුකක් ලබනවා...

මේ පුංචි සිද්ධිය මම ගලපන්නම් මේ උතුම් නිවන් මඟට...

ඝණ අන්ධකාරය බිඳලමින් ආලෝකය ගෙන දෙන විදුලි පහන අන් කවරක්වත් නොවේ උතුම් ශ්‍රී සත්ධර්මයමයි... ඉතින් මෙය බබළන්නේ විවර වන තරමින්මයි... වැසුන විට නොම බබළයි... එය විවර වී බබළන විට ඒ තුලින් මඟ නොමඟ සෙයාගෙන අන්ධකාරයේ දකින්නට නොහැකි ලෝකය දැකගෙන ඒ ආලෝකය ලැබුණ හේතුව නිසි ලෙසින් වටහාගෙන එයින් නිසි ඵල නෙලාගන්න පිරිසක් සිටිනවා. ඒ අය විදුලි පහණට නොඇලී ඒ දුන්න ආලෝකයෙන් මඟ සොයාගන්නා පිරිස වගෙයි... ඒ අය විදුලු පහනට ලං වෙනවා වෙනුවට එයින් දෙන ආලෝකය තුලින්මයි නිසි ඵල නෙලාගන්නේ. නොඇලීමෙන්... නොගැටීමෙන්... ලැබෙන්නේ මිදීමක්මයි!

එහෙත් පිරිසක් අර පළගැටියන් කෘමි සතුන් වගේමයි... ධර්මයේ ආලෝකය යන්තමට දුටු පමණින් විමසා නොබලා ඒ ආලෝකය දුන්න ධර්මය අල්ලාගන්නට උත්සාහ කරනවා... ආලෝකයට වශී වෙලා විදුලි පහන සොයා යන එය රැකගන්නට... එයට කෑදරකම් කරන්නට... එයට අයිතිවාසිකම් කියන්නට හිස් වෑයමක නිරත වෙනවා... ඇලෙන විට ගැටීමත් එතැනයි.. ඇලීම ගැටීම ඇති තැනක මිදීමක් නොමැත්තේමයි... ආලෝකයේ උපකාරයෙන් මිදෙනවා වෙනුවට ආලෝකය ලබාදෙන මූලයට ඇලී විනාශයට පත්වෙනවා... ආලෝකය ලැබෙන මූලයට ලං වන්නට වන්නට කිසිවක් නොපෙනී යනවා සේ... ඇස් නිලංකාරව අන්ධව යනවා සේ අනතුර හඳුනාගන්නට තරම් සිහියක්වත් නැති වෙනවා... 

මේ ජරමර අස්සේ ඔවුනට නොපෙනන තවත් දෙයක් තියෙනවා... ඒ තමයි පළගැටියන් කෘමියන් විදුලි පහනට ලංවන තරමින් විදුලි පහනේ ආලෝකයද වැසී යනවා... ඔවුන්ගේ අඳුරු සෙවණැලි ආලෝකය විහිදෙන එක සීමා කරනවා... ධර්මය නැමැති විදුලි පහන වටකොටගෙන මෙවැනි අඳුරු සෙවණැලි රැසක් ඇතිවෙනවා... එය ක්‍රම ක්‍රමයෙන් වැසී ගොස් ආලෝකය සීමා වෙනවා පමණක් නොවේ ඒ ආලෝකයෙන් මඟ නොමඟ සොයාගන්නා පිරිසද අඩු වෙනවා... 
එහෙත් අවාසනාවකි... වැඩියෙන් සිටින්නේ කෘමීන් පළගැටියන්මය... දුරින් සිට නොඇලීමෙන් නිසි ඵල නෙලාගන්නේ අවමය... එයද ධර්මතාවයකි... එසේ නොවුනහොත් අඳුරු සෙවණැලි නිසාම නිවී යන විදුලි පහන නැවත දල්වාලන්නට බුදු කෙනෙක් ලොව පහල වන්නේද නැත. 

තවත් විස්තර ඕනෑ නැත... ප්‍රඥාවන්තයා උපමාවෙන්ද දහම් අවබෝධයම ලබයි... සත්ධර්මයම ලබයි... ඔබත් නුවණැත්තෙක් නම්... ප්‍රඥාවන්තයෙක් නම්... මේ දුන්න උපමාව නුවණින් දැකගන්නට වෙහෙස වෙන්න... ඔබ ධර්මය හමුවේ හැසිරෙන ආකාරය නුවණින් විනිවිද දකින්න! 
දහම් ආලෝකයෙන් නිසි මඟ ලබන්නෙක්ද නැතිනම් එහි බාහිර අංශු මාත්‍ර ඔපයකට රැවටී ධර්මය රැකගන්නවා යැයි සිතා එය වසා දමා ආලෝකය සීමා කර මහා විනාශයක් තමන්ටද අනුන්ටද ලං කරගන්නා අඳුරු සෙවණැල්ලක් විතරද?
ප්‍රඥාවන්තව අප්‍රමාදීවන්න! අඳුරු සෙවණැලි බොහෝමයි... ආලෝකය හෙමින් හෙමින් සීමා වෙනවා... විදුලි පහන ක්‍රම ක්‍රමයෙන් වැසී යනවා... ඒ අතර ඔබ කව්රුන්දැයි හැඳින යහපතම උදාකරගනිත්වා!

No comments: