නිර්වාණ ධර්ම බ්ලොග් අවකාශය | Nirvana Dhamma BLOG

About this Blog | මෙම බ්ලොග් අඩවිය ගැන...

"මෙය “නිර්වාණ ධර්ම“ වෙබ් අඩවියට සමගාමීව ඔබ වෙත ලබාදෙන බ්ලොග් අඩවියයි! මෙසේ අවස්ථාවන් රැසක් තුලින් සත්ධර්මය කැටිකොට ලබාදෙන්නේ අතිශයින්ම බුද්ධිමත් සැබෑම මිනිසුන් වෙත පමණයි! ඔබේ ආගම ජාතිය කුලය තත්ව තානාන්තරය කුමක් වුවත් සැබෑම මිනිසෙක් ලෙසින් ප්‍රයෝජනයට ගෙන යහපත, සැබෑ සතුට, සැනසීම උදාකරගැනීම පිණිස “නිර්වාණ ධර්ම“ වෙතින් වෙන් වන අවකාශයයි!“
"This is the BLOG of "Nirvana Dhamma" web site which is Strictly for Human beings only! No matter what your status in this world is, No matter what you believes on, No matter what your religion is, Only matter is that whether you are a human being or not to gain the maximum benefits through all these efforts!"

Thursday, February 16, 2017

දැන්වත් ප්‍රඥාවන්තව නියම දහම දැකගන්නට අප්‍රමාදීවන්න!

මායාව විනිවිද දකින්නට දහම් ඇසක් අවශ්‍ය වෙනවා... මේ විපාකයක් වශයෙන් ලැබී තිබෙන ඇස,කණ, දිව, නාසය, කය, මන කියන ඉන්ද්‍රීයයන්ගෙන් ඇහෙන පෙනෙන දැනෙන විඳින දේවල් වලින් නම් ලොව්තුරා බුදු පියවරුන් පෙන්වා දුන්නාවූ පෙර නොඇසූ විරූ දහම් දැකගන්නට නොහැකියි... අන්න ඒ මායාව විනිවිද දකින්නට අංශු මාත්‍ර හෝ දහමක් පෙන්වා දෙන්නේ යම් කෙනෙක්ද ඒ උතුමන් දොහොත් මුදුන් දී නමස්කාර කරන්නට නිසිමය... 

අති පූජනීය වහරක අභයරතනාලංකාර හිමියන්ගේ දේශනා වල මේ ගැඹුර අත්දැකගන්නට හැකිවූනා නම් උන්වහන්සේගේ අඩුව පුරවන්නටැයි... උන්වහන්සේ පෙන්වූ දහමමයි... යැයි කියා අධර්මයන්ගේ සරණ නොපතාවි... දැන්වත් ප්‍රඥාවන්තවන්න... වචන පද ඉක්මවා ධර්මය දැකගන්න...

කැමති සේ නැතිවූයේ, කැමත්ත ඉටුවුනේ නැතිවූයේ රූප, වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ පංචස්කන්ධයක් වශයෙන් සැකසී මායාවක් සැකසූ අවස්ථාවේදීමයි! ඒ පංචස්කන්ධ මායාව නොදැක එයට රැවටී එය භාරගන්නා මොහොතේ පටන්ගෙන සකස් වෙන පංච උපාදානස්කන්ධයද හරි හැටි තේරුම් නොගෙන ඒ පංච උපාදානස්කන්ධයට සත්ව, පුද්ගල, ද්‍රව්‍ය, වස්තු සංඥා ගනිමින්... ඒ සත්ව, පුද්ගල, ද්‍රව්‍ය, වස්තු සංඥා අතර ගහ, කොළ, අඹුදරුවන්, ගොන් හරක් එළු බැටලුවන් දකිමින්, අනේ මේවා අපේ කැමැත්තට නෑ නොවේදැයි පැවසූවාට එතැන දැක ඇති දහමක් නොවේ... 


යමෙක් විපාකයක් වශයෙන් සකස් වී ඇති මේ මායාව සකසන ක්‍රියාදාමය විනිවිද දකිමින්... ගහ, කොළ, අඹුදරුවන්, ගොන් හරක් එළු බැටලුවන් විනිවිද යමින් සත්ව, පුද්ගල, ද්‍රව්‍ය, වස්තු සංඥා විනිවිද යමින්, පංච ස්කන්ධ මායාව සැකසුන ආකාරය ප්‍රඥාවෙන් විනිවිද දකින්නේ නම් පෙර නොඇසූ විරූ දහම් දැකුමට ඒ ඇත්තන්ට දහම් ඇසක් පහල වී ඇත... ආර්ය පර්යේෂණය අන්න එවිට සිදුවනු ඇත... 


සත්ව, පුද්ගල, ද්‍රව්‍ය, වස්තු ලෙසින් ගන්නා සංඥා විපරීතය... සංඥා විපල්ලාසය නිවැරදි වනු ඇත... විපාකයක් සේ අත්දකින මායාව පසාරු කරගෙන විනිවිද යමින් විදසුන වැඩෙනු ඇත... සංඥා විපරීතය නිසාම සකස් වෙන “මම“ සකස්වීම නතර වනු ඇත... 


සියල්ල අත්හැරී මොහොතෙන් මොහොත නිවනම ලැබෙනු ඇත... මන්ද අල්ලා ගත් සියල්ල යනු මොහොතක් පාසා පංචස්කන්ධ මායාව නොදැක “මම“ යැයි හැඟීමෙන් යුතුව මායාව භාරගැනීමම වේ... මේ දේ අහන දකින දැනෙන විඳින මොහොතක් පාසා සිදුවන බව ප්‍රඥාවෙන් දකින්නේ නම් වැටහේවි...

මේ දහම දැකගන්නට මායාවේම ඵලයක් ලෙසින් ලැබූ ඇස, කණ, දිව, නාසය, කය කියන පංච ඉන්ද්‍රීයයන් තුලින් නොහැකි නිසාම ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන්නාවූ ඉන්ද්‍රීය පහක් බුදු හිමියන් පනවා ඇත.. ලැබෙන්නේද වැඩෙන්නේද ඒ ඉන්ද්‍රීයයන්මයි... මායාව විදින්නට සකස් වූ මනසිකාරය එවිට සොරු අල්ලා දෙන සොරෙක්ම සේ යෝනිසෝ මනසිකාරය නමින් පෙනී සිටින්නට පටන්ගනී... සබ්බේ ධම්මා අනත්තාති අවබෝධය ප්‍රත්‍යක්ෂ වන ක්ෂණයක් පාසා මේ සොරු අල්ලන්නේද සොරෙක්මය යන අවබෝධය, සිහිය නිසාම එයද අතහැරීම සාමාන්‍ය දෙයකි... 


මෙවන් ගැඹුරු දහම් අවබෝධයෙන්ම මතු කර දුන් ඒ උතුම් කළ්‍යාණ මිත්‍රායාණන්වහන්සේ වන පූජනීය වන්දනීය වහරක අභයරතනාලංකාර හිමිපාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා! උන්වහන්සේගේ පද පෙරලි මත අතරමං නොවී පද පෙරලා පෙරලා මතු කර දෙන්නට උත්සාහ දැරූ මේ පෙර නොඇසූ විරූ දහම් හේතු වාසනා ඇති සියලු සතට ගෝචර වේවා!! 
මෙවන් ගැඹුරු දහම් මතුකරන අතලොස්සකටත් වඩා අඩු ප්‍රමාණයක හිමිවරුන් සහ උපාසක උපාසිකා පිරිස් මේ වන විටත් අප අතරම සිටිනවා... උන්වහන්සේලාද මේ ජීවිතය කෙලවර කරගන්නට මත්තෙන් තම තම නිවන් මඟ පාදා ගන්නට මායාවේ තීන්දු තීරණ වලට නොරැවටී කටයුතු සලසා ගනිත්වා! 

අප්‍රමාදීව නිවන් මඟම පූර්ණය වී නිවනින්ම සැනසෙත්වා!!! 
තෙරුවන් සරණින් නිවනම වෙත්වා!!!

1 comment:

Anonymous said...

ඔබලාට බොහොම පින්.
මම වහරක හාමුදුවන් ගැන දැන ගත්තේ අහම්බයෙන් කල internet search එකකදී
ඔබලාගේ වෙබ් site එක දැකීමෙන්.
මෙවර ලංකාවට පැමිණ විට උන්වහන්සේව දැක බලාගන්නටයි මා සිතාගෙන හිටියේ.

උන්වහන්සේගේ දේශනා ඇසූ විට මට සිතුනේ අඩුතරමින් උන්වහන්සේ අනාගාමි
උත්තමයෙක් කියලයි.

අපේ අවාසනාවට එතුමා පිරිනිවන් පෑවා. උන්වහන්සේ සමග ධර්ම කටයුතු කල වෙනත්
හිමි වරුන් මේ කටයුතු ඉදිරියට කරගෙන යනවාද ?

අප අගෝස්තුවල ලංකාවට පැමිණිවිට ඒ උත්තමයන්ව මුණ ගැසෙන්නට පුලුවන්ද ?