නිර්වාණ ධර්ම බ්ලොග් අවකාශය | Nirvana Dhamma BLOG

About this Blog | මෙම බ්ලොග් අඩවිය ගැන...

"මෙය “නිර්වාණ ධර්ම“ වෙබ් අඩවියට සමගාමීව ඔබ වෙත ලබාදෙන බ්ලොග් අඩවියයි! මෙසේ අවස්ථාවන් රැසක් තුලින් සත්ධර්මය කැටිකොට ලබාදෙන්නේ අතිශයින්ම බුද්ධිමත් සැබෑම මිනිසුන් වෙත පමණයි! ඔබේ ආගම ජාතිය කුලය තත්ව තානාන්තරය කුමක් වුවත් සැබෑම මිනිසෙක් ලෙසින් ප්‍රයෝජනයට ගෙන යහපත, සැබෑ සතුට, සැනසීම උදාකරගැනීම පිණිස “නිර්වාණ ධර්ම“ වෙතින් වෙන් වන අවකාශයයි!“
"This is the BLOG of "Nirvana Dhamma" web site which is Strictly for Human beings only! No matter what your status in this world is, No matter what you believes on, No matter what your religion is, Only matter is that whether you are a human being or not to gain the maximum benefits through all these efforts!"

Thursday, May 17, 2018

සීලයට උපකාර වන මල් පූජාවෙන් නිවන් දකිමු!


පෙර නොඇසූ විරූ දහම් විදසුනට ලක්වෙමින් සිදුකරන මල් පූජාව සීලය නැඟෙන්නට උපකාර වන්නේ කෙසේදැයි විමසා බලන්නට මෙම දහම් කොටසින් යොමුවෙමු.

"මලක් කියන්නේ ගසක පුංචි කාලයකට පමණක් සීමාවූ අංගයක්. එසේ පුංචි කාලයකට පමණක් ගසේ මල් පිපෙන්නට හේතුවක් තියෙනවා. ගසේ පැවැත්ම පිණිස උපකාර කරන්නේ ගසේ මලයි. මල ලස්සනට, සුවඳවත්ව, වර්ණවත්ව, සියුමැලි පෙති ඇතිව, රසැති පැණි ඇතිව නන් ආකාරයෙන් ආකර්ශණීය ලෙසින් පිපී තියෙන්නේ නිකමට නොවේ. ඒ ලස්සනට ආකර්ශණය වන බඹරුන් සමනළයන් මී මැස්සන් මලට ලංවෙන්නේ ඒ සුවය විඳගන්නටයි. ඒ එකතුවත් එක්කම පරාගනය කියන්නාවූ ගහක පැවැත්ම පිණිස සකස් වී ඇති ක්‍රියාවලිය සිදුවෙනවා. 

ප්‍ර‍ථිපලය නන් ආකාරයෙන් ඵල දැරීමයි. ඵල දැරීමත් සමඟින්ම ලස්සන පිපී තිබුන මල පරවෙලා වේලිලා කැතවෙලා යනවා. මොහොතකට සිතන්න කොතරම් කෙටි කාලයකටද මේ ආකර්ශණීය ලස්සන තිබුනේ? මොහොතකට මෙසේ හැඩ ගැන්වී සකස් වුනේ පැවැත්ම සකසා දෙන්නටමයි. ඒ මල නැතිවුනොත්? කඩා බිඳ දැමුවොත්? ඒ ගසට පැවැත්මක් නැතිවෙනවා. එහෙම නේද? 

දැන් නුවණින් සිතන්න... රූපයක් ඇස ගැටෙන මොහොතක් පාසා, ශබ්දයක් කණ ගැටෙන මොහොතක් පාසා, ගන්ධයක් නාසයට ගැටෙන මොහොතක් පාසා, රසයක් දිව ගැටෙන මොහොතක් පාසා, ස්පර්ශයක් කය ගැටෙන මොහොතක් පාසා, සිතිවිල්ලක් මන ගැටෙන මොහොතක් පාසා සිද්ධ වෙන්නෙත් මෙන්න මේ පරාගනයමයි. “චක්ඛුංච පටිච්ඡ රූපේච උප්පජ්ජති චක්ඛු විඤ්ඤාණං“ කියන්නාවූ ගැඹුරු ධර්මයමයි මේ මලින් උපමා කර අවබෝධ කරගන්නට හැකිවන්නේ. ක්ෂණයකට මොහොතකට ඇසක් නිර්මාණය වන්නේ ලස්සන මලක් වගේ... ඒ ඇසට රූප ආකර්ශණය වුනේ මලට රොන් සොයා පැමිණි බඹරුන් වගේ... ඒ ඇස නමැති මලත් රූප නැමැති බඹරා යන දෙදෙනාගේ එකතුව තුලින් පරාගනය වී සකස් වුනේ චක්ඛු විඤ්ඤාණය නැමැති මායාවමයි. ඒ මායාව එසේ මෙසේ එකක් නොවේ. ඒ මායව තුල සකස් වුනේ භවය නමැති භයානක තත්වය ගෙන දෙන බීජයමයි. මේ මායාව සකසා... භව බීජය සකසා ඇස නැමැති මල පරවෙනවා... විනාශ වෙනවා...ඒත් සමඟම එයට ඇඳුන රූපය නමැති බඹරාද විනාශ වෙනවා. ඒත් ඒ දෙදෙනාගේ එකතුවෙන් සකස්වූ මායාව පැවැත්මක් පිණිස බීජයක් සකසන්නට යෙදුනා. 

එසේනම් දැන් මල් කඩා දමන්නට කාලයයි. පරාගනය කරමින් පැවැත්මක් සකසමින් අසංවරව යන්නාවූ මේ ඇස, කණ, දිව, නාසය, කය සහ මන කියන්නාවූ මල් කඩා බිඳ දමන්නට දැන් කාලයයි. ඒ මල් කඩා නොදැමුවොත් සිල් බිඳෙන්නේ ඔබේමයි. සීලයෙන් තොරව කෙසේ නම් සැනසීමක් සහනයක් සතුටක් ලබන්නද? එසේ නම් මේ මල් කඩා බිඳ දමා ඒවාට ඇඳෙන රූප ශබ්ධ ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන්නාවූ බඹරුන්ද පන්නා දමන්නට අර්ථවත්ව ගැඹුරු දහම් නුවණින් දැකගන්නට අදිටන් කරගත යුතුයි. 

භව බීජය නසන්නට මේ මල් කඩා දමන්නට උපකාර කලේ ඒ උතුම් තෙරුවණමයි. ඒ තෙරුවණට නැමී මේ මල් කඩන විට සිත තුල නැඟී එන්නේ සීලයක්මයි. අර්ථවත්ව ධර්මාවබෝධයෙන් යුතුව සිත් තුල සැබෑ ප්‍ර‍ඥාවෙන් යුතු සීලය මෙසේ මතු කරගන්නට තම තමන්ටම පොරොන්දු වෙමින් මල් පූජාවන් කරන්නේ නම් ඔබගේ මෙලොව පරලොව දිවිය සරු වී නිවී සැනසීමටම පත්වීමටද එය උපකාරයක් කුසලයක් වනු නොඅනුමානයි!"

     

No comments: