නිර්වාණ ධර්ම බ්ලොග් අවකාශය | Nirvana Dhamma BLOG

About this Blog | මෙම බ්ලොග් අඩවිය ගැන...

"මෙය “නිර්වාණ ධර්ම“ වෙබ් අඩවියට සමගාමීව ඔබ වෙත ලබාදෙන බ්ලොග් අඩවියයි! මෙසේ අවස්ථාවන් රැසක් තුලින් සත්ධර්මය කැටිකොට ලබාදෙන්නේ අතිශයින්ම බුද්ධිමත් සැබෑම මිනිසුන් වෙත පමණයි! ඔබේ ආගම ජාතිය කුලය තත්ව තානාන්තරය කුමක් වුවත් සැබෑම මිනිසෙක් ලෙසින් ප්‍රයෝජනයට ගෙන යහපත, සැබෑ සතුට, සැනසීම උදාකරගැනීම පිණිස “නිර්වාණ ධර්ම“ වෙතින් වෙන් වන අවකාශයයි!“
"This is the BLOG of "Nirvana Dhamma" web site which is Strictly for Human beings only! No matter what your status in this world is, No matter what you believes on, No matter what your religion is, Only matter is that whether you are a human being or not to gain the maximum benefits through all these efforts!"

Thursday, August 2, 2018

බැලූ බැල්මට යහපත් වගේ පෙනෙන අදහස් වල ඇති නොපෙනෙන අනතුර!

ගෙදර කව්රුවත් නැතිව තනිවූ වෙලාවක... ඒ තනිවූ කෙනා ගෙදරින් එළියට ගිහින් හයියෙන් කෑ ගහනවා “අනේ! මම ගෙදර තනියම, මම ගෙදර තනියම... මගේ අම්මා, තාත්තා, මගේ සහෝදරයෝ, යාළුවෝ ආදී රැකවරණයට අවශ්‍ය පිරිස ඉක්මනට ඒවා...” කියලා... ඒ විතරක් නෙවේ තෑගි බෝගත් ගොඩක් අතේ තියාගෙන තමයි මේ විදියට කෑ ගහන්නේ... 

මේ වගේ අවස්ථාවක කව්රු කලින් එයි කියලද හිතන්නේ?

බලාපොරොත්තු වෙන රැකවරණය දෙන පිරිස ඒවිද? නැතිනම් තියෙන රැකවරණයත් නැති කරලා මරණය හෝ මරණයට සමාන දුකට පත් කරන්නට හැකි සොරුන් මංකොල්ලකාරයන් ආදී පිරිස ඒවිද?

ගෙදර රැකවරණයට අවශ්‍ය පමණින් පිරිසක් නැතිනම් විය යුත්තේ අදාල නැති පිරිසට ඒ බව නොහඟවා තනිවම ආරක්ෂා වීමට හැකි ක්‍රමයන් අනුගමනය කිරීමයි. විශේෂයෙන්ම ගෙදරින් එළියට යනකොට අම්මා තාත්තා කියන්නේ දොර වහගෙන ඇතුලට වෙලා පරිස්සමෙන් ඉන්න අපි එනකම් කියලනේ. අන්න ඒ වගේ...

මේ ඉතින් සිද්ධිය පැහැදිලි කරන්න යොදාගත්ත පුංචි උපමා කතාවක්...

මේ ශාසනයේ ශ්‍රාවක දරුවන්ට රැකවරණය දෙන අමා මෑණියන්වහන්සේ, බුදු පියාණන්වහන්සේ සම්බුදු ඔවදනක් දුන්නා. "දරුවනේ පියාගේ භූමියේ (සතර සතිපට්ඨානය) ඉන්න" කියලා. මේ පියාගේ භූමියෙන් ඉවත් වෙලා “ඉක්මනට රැකවරණය සලසන්නට හැකි, ශාසනයට බලයක් දෙන්නට හැකි පිරිසක් වන රහතන්වහන්සේලා හෝ මග ඵල ලාභීන් ලක්ෂ ගණින් බිහිවේවා” කියලා අදහස් ගන්න විට අනතුර එසේ මෙසේ එකක් නෙවේ... 

ඇත්ත, බැලූ බැල්මට වරදක් නෑ තමයි.  අවංක පැතුමක්.  වුණා නම් ඉතාමත් යහපතක් ගෙන දෙන පැතුමක්.  බැලූ බැල්මට නම් මෙහි සොයාගන්නට වරදක් අඩුපාඩුවක් නෑම තමයි.  එහෙත්, මේ වගේ පැතුම් තුල තිබෙන නොපෙනන, නොදැනෙන අනතුර තමයි ඉහත උපමා කතාවක් තුලින් පැහැදිලි කරන්නට උත්සාහ කලේ.  

ශාසනය සත්පුරුෂයන්ගෙන් අඩු මග ඵල ලාභීන්ගෙන් අඩු දුර්වල එකක් බවට පත්වීගෙන එනවාය කියන පණිවිඩය තමයි නිවන් මඟට බාධා කරන්නාවූ මාර පාර්ශ්වික පිරිසත්, අසුර ආදී නොපෙනෙන මහා පිරිසක් අදහස් ගන්නේ. ඒ අය නිකන් ඉන්නෙත් නෑ... බාධා කරන්නේ නිවන් මඟ වඩන පිරිසටමයි. පියාගේ භූමියෙන් මොහොතකට හෝ පිටතට ගියහොත් අනතුර එසේ මෙසේ එකක් නෙවේ. 

ඉතින්, ශ්‍රද්ධාව විරිය සතිය සමාධිය ප්‍රඥාව කියන්නාවූ ඉන්ද්‍රිය බලයන් නැගෙන ආකාරයෙන් මේ උතුම් පින්කම් සිදුනොකලහොත් එයින් සිදුවන අයහපත බැලූ බැල්මට හඳුනාගත හැකි එකක් නෙවේ. ඒ නිසාම තමයි උපමා කතාවක් කියලා අදහස වටහාගන්නට පහසුවන ආකාරයෙන් විග්‍රහ කලේ.

මේ වගේ මහා පින්කම් කරන්න කොතරම් කැපවෙනවද? ඉතාමත් උතුම්... සැබැවින්ම සහාය දිය යුතුමයි! අගය කල යුතුමයි!  බොහෝ පිරිසකට මහා පුණ්‍ය ගංගාවක්මයි!  

එහෙත්, මේ දේවල් ප්‍රඥාවන්තව කරගන්නට දක්ෂ වෙන්න ඕන. නැතිනම් අනතුරත් මහා පරිමාණයෙන්මයි. උතුම් සම්බුදු ගුණයන්ට පැහැදී, උතුම් සත්ධර්මයේ ගුණයන්ට පැහැදී, උතුම් ආර්ය මහා සංඝ රත්නයේ ගුණයන්ට පැහැදී, තම තමන්ට අංශු මාත්‍ර තරමින් හෝ නිවීමක්, නිවෙන මඟක් ලබාදුන් ඒ උතුම් තෙරුවණට කෘතෝපහාරයක් වශයෙන් මේ පින්කම් සිදුකරගන්න. කෘතෝපහාරයන් කරන විට ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා බලයන්, ඉන්ද්‍රියන් නැගෙන්නේ ඒවායේ විපාකයන් පවා අවබෝධයෙන් කරන විටදීයි. 

ඉතින්, ඔන්න යුතුකමක් ඉටු කලා... මහා පින්කමක් අඩුපාඩුවක් නැතිව, අනතුරක් නැතිව කරගන්නට මට වැටහෙන ආකාරයකින් මඟ පෙන්වීමක් සිදුකලා.  ගිය වරත් හැකි උපරිමයෙන් මේ කාරණය පෙන්වා දෙන්නට උත්සාහ කලා. එහෙත් මම හිතන්නේ කියන දේ නාහන හිතුවක්කාරයින් බහුල නිසාත් කාරණය ගැඹුරු නිසාත්, පණිවිඩය නිසි සේ නොගිය නිසාත් ආදී හේතු රැසක් මුල් වී පණිවිඩය මඟ හැරී ගියා.  

රැකවරණයක් නැතැයි කියමින් කෑමොර දී, රැකවරණය පිණිස ශක්තිමත් වීම පිණිස බලාපොරොත්තු ඇතිව පැතුම් පතා, පෙනෙන නොපෙනෙන බොහෝ අනවශ්‍ය පිරිසකගේ අවධානය ලබාගෙන අනේ අපිට බාධා සිද්ධ වෙනවා කිව්වාට ඵලක් නෑ. හේතු සකස් කරමින් ඵල නිරෝධ කල නොහැකියි. 

මේ වගේ කැපවීමෙන් අලංකාරවත්ව කරන්නාවූ මේ උතුම් පින්කම්, 
කෘතෝපහාරයක් වශයෙන්ම තෙරුවණ උදෙසා එකින් එක සැදැහැ සිතින් තුන්සිත පහදවා පූජා කොට තම තමන් කරගත්තා සේ චිත්ත ප්‍රසාදයට පත්ව තෙරුවණේ සැබෑ රැකවරණයේ අපූර්වත්වයම විඳගනිත්වා! පෙනෙන නොපෙනෙන සියලු සතට අන්න ඒ අතහැරීමෙන් බලාපොරොත්තු රහිතව දෙන මහා පුණ්‍යකුසල ශක්තීන් අනුමෝදන් වෙත්වා! මේ ගැඹුරු කාරණය තම තම නැණ පමණින් පැහැදිලි කරගෙන නිවී සැනසෙන්නට කටයුතු කරත්වා!

ලක්ෂ ගණින් සීමාවක් පණවා නොව,  තුන් කල් වැඩ වසන අනන්ත සම්මා සම්බුදු පියවරුන්ට, පසේ බුදු පියවරුන්ට, මහරහතන්වහන්සේලා ප්‍රමුඛ කරගත් ආර්ය මහා සංඝරත්නය උදෙසාම, මේ පින්කම කරන්නට සිත් පහදවාගත් තැන් පටන්ගෙන ඒ වෙනුවෙන් කියන, කරන, හිතන සියලු දේ කෘතෝපහාරයක්ම වේවා! එසේ කරගන්නට නුවණැති සියල්ලෝ දක්ෂ වෙත්වා!

ඒ උතුම් තෙරුවණටම පූජා කරමි! පූජාම වේවා! කියන අදහස ඇතිව කරගන්නට දක්ෂවෙන්නට මෙයට සිතිවිලි මාත්‍රයකින්, ක්‍රියා මාත්‍රයකින්, වචන මාත්‍රයකින් පවා සම්බන්ධ වන සෑම පිරිසකටම හැකිවෙත්වා!

සෑම නිවසකම තෙරුවණ උදෙසාම පහනක් දල්වා කෘතෝපහාරයන්ම කරන්නට සිහි නුවණම ලැබේවා. අනවශ්‍ය අනතුරු ආකර්ශණය කර නොගැනීමට සිහියෙන් නුවණින් විරියෙන් යුතුව කටයුතු කරගනිත්වා!

අනතුරක්, අඩුපාඩුවක් හේතු ඇතිව පෙන්වා දෙන විට තමන්ට නොවැටහෙන නිසා හෝ පංච ඉන්ද්‍රියන්ට ගෝචර නොවන නිසා හෝ් අප්‍රසාද සිත් ඇති කර නොගනිත්වා!!!

පැහැදුනුවන්ගේ වඩ වඩාත් පැහැදීම පිණිසත්, නොපැහැදුනුවන්ගේ වඩාත් පැහැදීම පිණිසත්, පෙනෙන නොපෙනෙන වශයෙන් සම්බන්ධ වන සියලු සතගේ යහපත්වූ චිත්ත ප්‍රසාදය පිණිසත් හේතු උපකාර වෙත්වා!

No comments: