නිර්වාණ ධර්ම බ්ලොග් අවකාශය | Nirvana Dhamma BLOG

About this Blog | මෙම බ්ලොග් අඩවිය ගැන...

"මෙය “නිර්වාණ ධර්ම“ වෙබ් අඩවියට සමගාමීව ඔබ වෙත ලබාදෙන බ්ලොග් අඩවියයි! මෙසේ අවස්ථාවන් රැසක් තුලින් සත්ධර්මය කැටිකොට ලබාදෙන්නේ අතිශයින්ම බුද්ධිමත් සැබෑම මිනිසුන් වෙත පමණයි! ඔබේ ආගම ජාතිය කුලය තත්ව තානාන්තරය කුමක් වුවත් සැබෑම මිනිසෙක් ලෙසින් ප්‍රයෝජනයට ගෙන යහපත, සැබෑ සතුට, සැනසීම උදාකරගැනීම පිණිස “නිර්වාණ ධර්ම“ වෙතින් වෙන් වන අවකාශයයි!“
"This is the BLOG of "Nirvana Dhamma" web site which is Strictly for Human beings only! No matter what your status in this world is, No matter what you believes on, No matter what your religion is, Only matter is that whether you are a human being or not to gain the maximum benefits through all these efforts!"

Saturday, April 25, 2020

අප සැමට සර්වඥ විය හැකිද?


සටහනේ අන්තර්ගතය
මේ කාලේ අහම්බෙන් වගේ කියවන්න ලැබුන ලිපි කිහිපයකත්... අහම්බෙන් වගේ ස්වාමීන්වහන්සෙලාගෙන් අසන්නට ලැබුන බණ විග්‍රහ වලත් උතුම් සම්මා සම්බුදු පියාණන්වහන්සේලාගේ “සර්වඥතා ඥානය” හෙවත් “සියල්ල දත් නුවණ” ගැන එහෙමත් නැතිනම් සම්මා සම්බුදු පියාණන්වහන්සේ කෙනෙකුට පමණක් උරුම වන විශේෂිත ඥානය ගැන ඉතාමත් කණගාටුදායක අර්ථ දැක්වීම් අහන්නට දක්නට ලැබුනා. මෙවර කතු වැකිය වෙන් වන්නේ මෙකරුණ පිළිබඳවද විවෘතව නුවණින් විමසා බලා තීරණයක් ගැනීම උදෙසායි!!!

සර්වඥතා ඥානය හෙවත් සම්මා සම්බුදු පියවරුන් තුල තිබෙන “සියල්ල දක්නා නුවණ” කියලා කියන්නේ අප හැමෝටමත් ලබා ගත හැකි නුවණක් ලෙසින් තමයි මේ අසන්නට දකින්නට ලැබූ බොහෝ විග්‍රහයන් තුල දැකගන්නට හැකිවූයේ. එය සම්මා සම්බුද්ධත්වයට පමණක් උරුම දෙයක් නොවන බව තමයි ඒ ඇත්තන්ගේ අදහස. 

ඒකට හේතුව විදියට පෙන්වා දෙන්නේ ත්‍රිපිටක ධර්මයට අනුව සියල්ල යනු; ඇස, කණ, නාසය, දිව, කය, මන සහ ඒවාට ගෝචර වන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම කියන්නාවූ කාරණා බැවින් සර්වඥයි යනු මේ කියන සියල්ල ගැන ලබන අවබෝධය මිසක් අන් කවරක්වත් නොවන බවයි. එනම් සම්මා සම්බුදු පියාණන්වහන්සේලා විසින් සියල්ල අවබෝධ කල යුතුයි ලෙසින් ශ්‍රාවකයන්ට පවසන විට පෙන්වා දෙන්නේ මේ කියන්නාවූ සර්වඥතා ඥානය ලබාගන්නා ලෙසට බවයි පෙන්වා දෙන්නේ. එහෙත් යථාවත් දහම අවබෝධ නොකල මානසිකත්වයකට මේ කියන “සියල්ල” තුල ගෝචර වන්නේ තමන් දන්නා කියන දෘෂ්ඨීන්ට සාපේක්ෂව ලබන විග්‍රහයක් සහ අවබෝධයක් පමණයි. ඒ තුල මේ කියන “සියල්ල” තුල ඇති ගැඹුර දකිනවා තබා ලංවීමක් වත් නැති බව තේරුම් කරවන්නටද නොහැක්කකි. 

මෙතනදී මම උතුම් තථාගතයන්වහන්සේලා විසින් සර්වඥතා ඥානයන් ලබන්නට හේතු පාදක වන කරුණු පෙන්වා දෙන්නේ නෑ. ඒ වෙනුවට ඔබට විවෘතව නුවණින් විමසා බලන්නට හැකි යමක් පෙන්වා දෙන්නම්. 

මොහොතකට ඔබ, ඔබ ගැනම සිතන්න...
ඔබ කොතරම් දේවල් දන්නවද? නොයෙක් නොයෙක් විෂයන් ගැන ඔබගේ දැනුම කොතරම්ද? දැන් හිතන්න ඔබට ජීවිතයේ හමුවන පිරිස සමඟ හෝ ලැබෙන අවස්ථාවන් අනුව ඔබගේ දැනුම සියල්ලෙන් සියල්ල බෙදා ගන්නට හෝ අඩුම තරමේ ඔබ මෙතරම් දන්නවා යැයි අනුන්ට දනවන්නට හෝ අවස්ථාවක් ඔබට ලැබෙනවද?
යමෙක් ඔබෙන් පැනයක් ඇසූ කල ඒ අදාල පැනයට ඔබ දන්නා සියල්ලම පාහේ කියන්නටවත් ඔබට අවස්ථාවක් තිබෙනවද? ඔබ භාවනා ආදියෙන් මනස දියුණු කල කෙනෙක් නම් ඔබගේ දැනුම සහ සාමාන්‍ය පරිදි ජීවිතය ගත කරන කෙනෙකුගේ දැනුම සසඳන්න... උත්තරය මම දෙන්න අවශ්‍ය නෑ නේද?
නුවණින් විමසන්න... ඔබගේ ඔය දන්නා දැනුම බෙදාගන්නට හෝ ලියා තබන්නට හෝ අවස්ථාවක් නැති කල... ඔබගේ දැනුම ගැන ඔබ අවට සිටිනා පිරිසටවත් අදහසක් නැති කල ලොව පවතින සෑම විෂයක් සම්බන්ධයෙන්ම තතු සේ දැනගැනීමට පෙරුම් පුරාගෙන ආව සම්මා සම්බුදු කෙනෙකුගෙන් ඒ සෑම විෂයක් ගැනම ප්‍රශ්ණයක් අසන්නට පවා දන්නා අය සිටින්නට හැකියැයි ඔබට තවමත් සිතෙනවද? 

කොටින්ම ගිනි ගෙන දැවෙන ශ්‍රමණ පෙරේතයින් සිටින බව බුදු හිමියන් දැක තිබුණත් මුගලන් හිමි එය දැක ප්‍රකාශ කරන තුරු නොපවසා සිටියේ ඔබ සේම බුදු හිමියන් ඒ ගැන කිව්වත් විශ්වාස නොකරන පිරිසක් ලොව සිටින බවත් සියල්ල දන්නා නුවණින්ම දන්නා නිසාය. ඒ කරුණ එසේ වන කල ඩයිනෝසරයන්... පරිඝණක ආදිය ගැන මාතෘකා කතා කරන්නට තරම් උන්වහන්සේට අවශ්‍යතාවයක් ඇති වේ යැයි සිතීමද අනුවණකමක්මය.

ත්‍රිපිටකය නමින් වූ පොත් පනස් ගාණක සාරාංශගතව ඇති ධර්මය විතරයි සම්මා සම්බුදු කෙනෙක් පවසන්නේ එයින් තොරව යමක් පවසා නොමැත කියා යමෙක් දෘෂ්ටිගතව මතයක් දරනවා නම් ඒ තැනැත්තා තවමත් ධර්මය හෝ ධර්මය තුලින් බුදුන් කවරෙක්දැයි අවබෝධයක් ලබා නැති බව මම නිතරම පෙන්වා දෙන කාරණයක්. ත්‍රිපිටක ධර්මය තුල ඩයිනෝසරයන්ගේ යුගය ගැන හෝ පරිඝණක සහිත තාක්ෂණික යුගයක් ගැන නොකියැවෙන නිසා බුදු හිමියන් ඒ බව පවසා නැතැයි සිතනවා නම් එයට වඩා බුදු දහම ලඝු කිරීමක් තවත් නැත. 

එහෙත් තවමත් කෙනෙකුට හිතුනොත් “ත්‍රිපිටකය තුලින්ම බුදු හිමියන් සියල්ල දත් උත්තමයෙක් බව පෙන්වන්න” යැයි කියා මම මෙසේ කියන්නම්...

ත්‍රිපිටක ධර්මය තුල ගැබ්වෙනවා බුදු හිමියන් විසින් ලෝකාරම්භය පෙන්වා දෙන ආකාරය... ඒ වගේම ලෝකඅවසානය සිදුවන ආකාරය පෙන්වා දෙන ආකාරය... ඒ වගේම අනාගතයේ මිනිසුන් දරන ආකල්ප සහ සමාජ හැසිරීම ගැන... ඒ වගේම ශාසනය අතුරුදහන් වන ආකාරය සහ කරන්නවුන් පිළිබඳ දීර්ඝ විග්‍රහ කිරීම්... ඒ වගේම සෞරග්‍රහ මණ්ඩලය සහ විශ්වය ගැනත් තවම විද්‍යාඥයින්ට ලංවෙන්න තබා හිතාගන්නවත් නොහැකි අනෙකුත් විශ්වයන් සහ පිටසක්වළ ලෝක පිළිබඳව විග්‍රහ කිරීම්... ඒ වගේම සාමාන්‍ය මිනිස් ඇසට දැකිය නොහැකි ජීවින් වෙසෙන ලෝක වර්ග 31ක් ගැන... ඒ වගේමයි ක්ෂුද්‍ර ජීවීන් ගේ පටන්ගෙන සෑම ජීවියෙකුගේම පැවැත්මට හේතුවන මූල කාරණා...

ඉතින් ලෝකයේ ආරම්භය පටන්ගෙන අවසානය දක්වාත් ඒ අතරතුර සමාජරටාවත් තම ඥානයෙන් දුටු සියල්ල දත් උතුමන්ට තවමත් පරිඝණක හෝ ඩයිනෝසරයන් හෝ ඒවා කිව්වේ නැති බව කියමින් තර්ක කරන ඔබ ගැන හෝ පොතේ නැති නිසා සම්මා සම්බුදු පියවරුන් සර්වඥ නොවේ යැයි තර්ක කරනවා නම් ඔබට තවමත් සම්මා සම්බුද්ධ විෂය අංශු මාත්‍ර තරමින්වත් ගෝචර වන්නෙක් නොවේ.

ඒත් කිව යුතුම දෙයක්ද ඇත... මෙසේ තර්ක කරන ඔබ ගැනද බුදු හිමියන් පවසා තිබීම සැබැවින්ම ආශ්චර්යමත්ය. මෙවැනි තර්ක ගෙන හැර දක්වන්නෝ ගැන පමණක් නොවන එවැනි තර්ක ඇතිවන්නේ කුමන හේතුවක් නිසාවෙන්ද යන බවත් හේතු ඇතිවම පෙන්වා දී ඇත. එහෙත් එය තෝරාගන්නට හැකියාවක් නොමැති වීම ගැනද පෙන්වා ඇත.

ඉතින් මෙයටත් අමතරව පොතේ තිබූ නිසාවෙන් පමණක් පිළිගන්න ඔබට දැනගැනීමට සම්මා සම්බුදු කෙනෙකුට පමණක් උරුම සුවිශේෂිත සර්වඥතා ඥාන 6ක් ගැන කියැවෙනවා.

සම්බුද්ධ විෂය යනු සමාන්‍ය කෙලෙස් සහගත මානසිකත්වයක තෝරාගන්නවා පවා හිතාගන්නටවත් නොහැකි තත්වයකි. රහත්ඵලය යන ශ්‍රාවක බුද්ධ විෂයද එසේමය. කෙලෙස් දුරු කරන තරමින් මේ ශ්‍රාවක බුද්ධ කියන විෂයට ලං වුවද සම්මා සම්බුද්ධ විෂය විනිවිද දැකගන්නට හැකිවන්නේම තවත් සම්මා සම්බුද්ධත්වයට පත්වූ මානසිකත්වයකටම පමණි. 

මෙතනදි මේ වගේ අදහස් මත දැරීමේ අනතුර තමයි මේ අදහස දරන හැම මොහොතකම මේ පුද්ගලයා උතුම් සම්මා සම්බුද්ධ රත්නයේ ගුණයන්ගෙන් ඈතට යනවා. සම්මා සම්බුදු පියවරුන්ගේ විශේෂත්වයක් නොමැති බවට හැඟීමක් ඇතිවෙනවා. අපටද ඒ තත්වයට පත්වීම කජු කනවා ගේ පහසු වැඩක් ලෙසින් තමයි හැඟෙන්නේ. කජු කෑම කොතරම් අපහසුද කියලා නුවණින් අත්දැකීමෙන් ඒ වැඩපිලිවෙල අත්දැක්කෝ දනිති. එසේ නම් තම තමන් දරන මෙවැනි මත නිසාවෙන් උතුම් තෙරුවණද ලඝු වෙමින් තව තවත් නිවන් මාර්ගයෙන් ඈත් වෙනවා මිස සිදුවන යහපතක් නොවන බව තේරුම් ගැනීමට ප්‍රඥාවන්ත විය යුතුයි.

පොත පතේ ඇති දෙයින් පමණක් යමෙක් සම්බුදු බණ දකිනවා නම් එතැන මහා අනතුරක් මිස ලැබිය හැකි නිවන් මඟක් නොවන බවද සිහි තබා ගැනීම තම තමන්ටම කරගන්නා යහපතකි! විශ්වාසයෙන් පිළිගැනීමට හෝ තර්ක වාද මත දැනුමට ගැලපෙන නිසාවෙන් පිළිගන්නා දහමක් නොවන යථා දහම ප්‍රඥාවෙන් දැකගන්නට දැකගෙන විමුක්තිය ලැබගන්නට තෙරුවණේ ආශිර්වාදය අඛණ්ඩව ලැබේවා!!!

No comments: