උදේ ඉඳන් රෑ වෙන කම් කන්න දෙයක්
හොයා ගන්න ඕන... බොන්න දෙයක් හොයා ගන්න ඕන... සහකාරයෙක් සහකාරියක් සොයා ගන්න ඕන...
දරුවන් හදා ගන්න ඕන... දරුවන් පෝෂණය කරන්න ඕන... කොහොම හරි රැකෙන්න ඕන... තව කෙනෙක්
ම මරා ගෙන හරි කමක් නෑ තමන්ගේ යැයි සම්මත පිරිස රැක ගන්න ඕන... මේ විදියට සතුන් පවා
කරන... සතුන්ටත් කල හැකි ඉතාමත් සරලම මූලික වැඩපිළිවෙලක ට හිත යොමු කරලා...
කරලා... තමන් මනුස්සයෙක් බව බහුතරයකට අමතක වෙමින් පවතිනවා. මනුස්ස ගුණ ධර්ම අමතක වෙමින් පවතිනවා. ඉතින් මේ හැමදේම නිසා අවසානයේ “යහපත” නමින්
තමන් අමාරුවේ වැටෙන ක්‍රමයක් ගැන සිහිපත් කර දීම අංශු මාත්‍ර හෝ නුවණක් ඇති
මිනිසුන්ට වැදගත් වේවි යැයි සිතන කාරණයක් සිහිපත් කර දෙන්නට සිත් විය!
මුලින් ම මේ දවස් වල ඔබේ සිත
වැඩ කරන විදිය පොඩ්ඩක් බලන්න. ඔබ වෛරයෙන් ඉන්න බවක් දැනෙනවා ද? රටේ පාලකයෝ ගැන... රටේ අනෙක් ජනතාව ගැන... ලෙඩ්ඩු
ගැන... වෙද්දු ගැන... අනාවැකි කරුවන් ගැන... මොන ම කාරණයක් නිසා හෝ ඔබේ සිතේ ඇති තරහ...
වෛරී සිතිවිලි ගැන බලන්න. ලෙඩ වීම... මරණය... වෙනස් වීම වැනි අතිශයින් ම සාමාන්‍ය,
ඉපදුනා නම් අනිවාර්යයෙන් උපන්දින තෑගි සේ ලැබෙන මේ ධර්මතාවය බාර ගන්නට අකමැති
නිසාම පුදුමාකාර වෙහෙසකින්... අසහනයකින්... වෛරයකින් පසු වෙනවා නේද?
මේ අස්සේ යම් ආධ්‍යාත්මික වැඩපිළිවෙලක
නිරත වෙලා යම් යම් පිරිස් විසින් තම තමන්ගේ ආධ්‍යාත්මය දියුණු කරන්න...
සත්පුරුෂ ගුණ දහම් වඩන්න... යහපත් වෙන්න කියලා කියනවා. එහෙම කර ගත්තොත් මේ ව්‍යසන වලින් ගැලවෙන්නට
පුළුවන් කියලා කියනවා. ස්වභාව දහම සමඟ
එකතු වෙන්න... එයට අනුගත වෙන්න එතකොට මේ ව්‍යසන වලින් ගැලවෙන්නට පුළුවන් කියලා මේ රෝගය
සමඟ... මේ ක්‍රමවේදය සමඟ... මේ පාලක පාර්ශවයන් ඇතුළු අනෙකුත් බලවේග සමඟ සටන් කරන්නට
හැකි යම් යම් ක්‍රම වේද පෙන්වා දෙනවා. ඒ
මදිවට ඉතින් ඒ දේවල් වලට බුදු දහම කියන නමත් භාවිතා කරනවා. නො දැනුවත් කම සැම විටම
මහා අනතුරකට ම පත් කරනවා. දැනුවත් වෙන්නට ඇති
අකමැත්ත එයටත් වඩා අනතුරකට පත් කරනවා.
වෙළඳාම් කරන වෙළඳ පොළ කියන්නේ
ඉතින් ඝෝෂාව... මාළු වෙළඳාම ගත්තත්... සද්ද බද්ද නැතිව වෙනවා කියලා හිතන කොටස් වෙළඳ
පොල කටයුතු කරන තැන ගත්තත්... ඝෝෂාව.
ඉතින් මේ වගේ තමයි මේ වන විට ආධ්‍යාත්මය දියුණු කිරීම... සත්පුරුෂ දහම් වැඩීම...
සොබා දහම සමඟ එකතු වීම කියන කාරණා වෙළෙඳ පොලක් හා සමාන වෙලා... අනාවැකි “ඝෝෂාව”...
අයිතිවාසිකම් ලබා ගැනීමේ “ඝෝෂාව”... පෙර අපරදිග වෙදකම් “ඝෝෂාව”... වරද කාගෙදැයි සෙවීමේ
“ඝෝෂාව”... දැන් ඉතින් අංශු මාත්‍ර හෝ නුවණක් වේ නම්, ඒ නුවණ පවා මේ වෙළඳ පොළ “ඝෝෂාව”
අස්සේ සැඟවිලා ගිහින්.
වෛරය තරහ දුක අසහනය බිය ආදී තිරිසන්
ගති ස්වභාවයන් ම මතු වෙමින්, ඒවාම වර්ධනය වෙමින් සත්තුත් කර ගන්නා පොර කාලා හෝ තමන්ගේ දේ
රැක ගන්න තැනට ම පත් වෙලා. පත් වෙමින් පවතිනවා...
හේතුවට අනුව ඵලය ලෙසින් තව තවත් කායික රෝග තත්වයන් උදෙසා ම එක එක වර්ගයෙන් රෝග
ප්‍රභේද... වෛරස් ප්‍රභේද සකස් වෙමින් ලැබෙනවා.
ඉතින් නුවණැති මිනිසුනේ... මඳකට
නවතින්න... තමන් මනුස්ස ගුණ ධර්ම සමඟ ඉපදුන මිනිස්සු බව සිහිපත් කර ගන්න. මේ වෙළඳ පොළ “ඝෝෂාව” න් අතර අතරමං වෙන්නේ නැතිව
තමන් කියන කරන සිතන වැඩපිළිවෙලට මොහොතක් සිත යොමු කරන්න. සොබා දහමට අනුගත වෙනවා කියන්නේ ගස් වැල්
වනාන්තර සත්තු එක්ක ඒවාට ආදරය කරමින් ඉන්න පුරුදු වෙනවා කියන එක නෙවේ. තමන්ගේ ධර්මතාවය හඳුනා ගන්න... ස්වභාවය හඳුනා
ගන්න... ලෙඩ වීම, මරණය, වෙනස් වීම කියන ස්වකීය ධර්මතාවය හඳුනා ගන්න. එයට
අනුගත වෙන්න. එය භාර ගන්නට හැකි සිතක් සකසා
ගන්න.
සත්පුරුෂ වෙන්න රැකෙන්න පුළුවන්...
ව්‍යසන වලින් රැකෙනවා ගුණ දහම් වඩන්න ඉදිරියේ දී වෙන අනතුරු වලින් ආරක්ෂා වෙන්න
පුළුවන් කියමින් බුදු දහම නාමයෙන් මේ වන විට මේ ආධ්‍යාත්මික වෙළඳාම සිද්ධ වෙනවා. තමන් කරන්නට යන මේ වෙළඳ ගනුදෙනුව තේරුම් ගන්න. අවබෝධ කර ගන්න.
දැන් මේ ඔබ සත්පුරුෂ වෙන්න
හදන්නේ ඇත්තටම සත්පුරුෂ වෙන්න ඕන නිසා ද නැත්නම් ව්‍යසන වලින් රැකෙන්න ද? පින් කමක් කරන්නේ... කෙනෙකුට යමක් දෙන්නේ...
යහපත් වචන කතා කරන්නේ... මෛත්‍රිය වඩනවා කියලා වැඩපිළිවෙළක් කරන්නේ... නිර්මාංශ වෙන්නේ...
සොබා දහමට අනුගත වෙනවා කියලා ගස් වැල් සත්තු වෙනුවෙන් සටන් වදින්නේ... එහි අසිරිය
විඳ ගනිමින් එක එක භාවනා යෝග ක්‍රම කරන්නේ... මොකක්ද මේවායේ අරමුණ? ඇතුලාන්ත ය බලන්න මිනිසුනේ... තමන්ට අවංකව වන්න
තමන් තුල වැඩ කරන මේ වංචාව හසු වේවි.
සත්පුරුෂ ගුණ ධර්ම වැඩීම.. ධාර්මික වීම තවත් එක් වෙළඳ ගනුදෙනුවක් පමණක් බව
එතකොට හමු වේවි! හොඳින් හෝ නරකින් තමන්ගේ
පැවැත්ම පිණිස මහා පොරයක. මහා පරිමාණයෙන් මෙන්ම
මේ වැඩපිළිවෙල තුල අති සියුම් ව පවා නැවත වර්ධනය වෙන්නේ වෛරය අසහනය ම තමයි.
හරියට බැලුවොත් එය ඔබට මේ ක්‍රම
වේද පවසා දෙන පිරිස අතර දැක ගන්නට හැකි වේවි.
අනාවැකි කියන්නෝ... ආධ්‍යාත්මික වැඩපිළිවෙළ කියන්නෝ... පෙර අපර දිග වෙදකම්
කියන්නෝ... මේ විසඳුම් ලබා දෙනවා යැයි පවසන බහුතරය තවත් පිරිසක් සමඟ මහා වෛරයකින්...
තමන්ගේ ක්‍රම වේද අනුගමනය නො කිරීම ගැන අසහනයකින්. ඒ අනුව යන ඔබත් එසේමයි.
ඉතින් ඒ හැමදෙනාටම ත් ඔබටත් තමන්
මිනිස් ගුණ ධර්ම සමඟ ඉපදුන මිනිසුන් බව සිහිපත් කර ගන්නට පමණයි තියෙන්නේ. ඔබ යමක් කියන කරන සිතන විට නැවත යමක් බලාපොරොත්තු
නොවී සිදු කරන්න. එය ඔබට අපහසු නෑ. සත්තු කරන වැඩපිළිවෙළට බැස ගත්ත නිසා මුල අමතක වෙලා
පමණයි.
ලෙඩ වීම, මරණය, වෙනස් වීම කියන සෑම ඉපදීමක් සමඟ ම උපන් උරුමය වන සොබා දහමට අනුගත වෙන්න. එය භාර ගන්න. ජීවත් ව ඉන්න ලැබෙන්නේ තත්පරයයි නම් ඒ තත්පරය අවංකව ම නැවත යමක් බලාපොරොත්තු නොවී ක්‍රියාත්මක කරන්න. සත්පුරුෂයා යනු එවන් සත් දහමක් දරන්නෙක්. තමන්ගේ වාසිය පිණිස යහපත් දේවල් කරන කෙනෙක් නෙවේ.
ඔබ කැමති ද යම් වාසියක් ලාභයක් පිණිස ඔබව ඇසුරු
කරන පිරිස ඇසුරු කරන්න? නෑ නේද? එහෙනම් ඔබ වගේම
තමයි අනෙක් පාර්ශවයත්. තමන් උපමා කර
දකින්න! ඔබට වරදින්නේ නෑ!
සුවදායක සැනසීමෙන් යුතු ජීවිතයක්...
සතුටෙන් සැනසීමෙන් නිදහසේ ලබන්නට හැකි මරණයක්... මරණින් මතු ඔබ විශ්වාස කලත් නැතත්
යහපත ම ගෙන දෙන උපතක්... මේ සියල්ල තුලින් මේ පොරයෙන් නිදහස් වීමට විමුක්ත වීමට හැකි
දහමක් ලැබීමට ඇතිවෙන කුසලතාවය ක් දියුණු වීම ආදී දේ ඔබට ලැබෙන තෑගි මිස ඔබ හඹා යා යුතු දේවල් නොවේ.
ඔබ මනුස්සයෙක්! “ඝෝෂාව” අතර අතරමං වූ මනුස්සයෙක්... පැවැත්ම
පිණිස පොර කන්නට ගිහින් තිරිසන් සතුන් බවට පත් වෙමින් සිටින මනුස්සයෙක්... නැවතත්
ඒ බව සිහියෙන් යුතුව සිහිපත් කර ගන්න! වෙළඳ පොළ ඝෝෂාව අතර අතරමං වූ ඔබව සොයා ගන්න! ඔබ උපන් මනුස්ස ගුණ ධර්ම මතු කර ගන්න! ඔබට වරදින්නේ නෑ!!! වරදින්න හේතු නෑ!!!
No comments:
Post a Comment