නිර්වාණ ධර්ම බ්ලොග් අවකාශය | Nirvana Dhamma BLOG

About this Blog | මෙම බ්ලොග් අඩවිය ගැන...

"මෙය “නිර්වාණ ධර්ම“ වෙබ් අඩවියට සමගාමීව ඔබ වෙත ලබාදෙන බ්ලොග් අඩවියයි! මෙසේ අවස්ථාවන් රැසක් තුලින් සත්ධර්මය කැටිකොට ලබාදෙන්නේ අතිශයින්ම බුද්ධිමත් සැබෑම මිනිසුන් වෙත පමණයි! ඔබේ ආගම ජාතිය කුලය තත්ව තානාන්තරය කුමක් වුවත් සැබෑම මිනිසෙක් ලෙසින් ප්‍රයෝජනයට ගෙන යහපත, සැබෑ සතුට, සැනසීම උදාකරගැනීම පිණිස “නිර්වාණ ධර්ම“ වෙතින් වෙන් වන අවකාශයයි!“
"This is the BLOG of "Nirvana Dhamma" web site which is Strictly for Human beings only! No matter what your status in this world is, No matter what you believes on, No matter what your religion is, Only matter is that whether you are a human being or not to gain the maximum benefits through all these efforts!"

Friday, April 1, 2022

තව මාස 4යි...!!!

 

සටහනේ අන්තර්ගතය

නිර්වාණ ධර්ම ඇසුරු කරන ඔබ දන්නවා මේ සදහම් සත්කාරය තුලින් ඔබට ලැබෙන්නේ නිවීම සඳහා අවශ්‍ය කරන ගැඹුරු තථාගත ශ්‍රී සත්ධර්මය ම පමණක් ම බව. සුගතියක නතර වෙන්නට වත්... සුන්දර දැහැමි ජීවිත ගත කරමින් කෙලෙස් සාධාරණීකරණය කර ගනිමින් කල් මරන්නට වත් අවශ්‍ය කාරණා නැතිව අප්‍රමාදී ව නිවීම හෙවත් විමුක්තිය ලබා ගෙන සසර සුවපත් භාවය පිණිස කටයුතු කර ගැනීමට අවශ්‍ය අති දුලභ තථාගත දහම පමණක් ම, ඔබට නිර්වාණ ධර්ම සදහම් සත්කාරයෙන් ලබා දෙන්නට තමයි අපගේ කැපවීම. ‌මන්ද ‌පැවැත්ම පිණිස උපකාර වන දේ කියන්න දහසක් ඇතැත් නිවෙන්නට වදනක් අති දුලභයි!

ඉතින් නිවෙන්නට කැමති... නිවන් මඟ වඩන්නට කැමති... අප්‍රමාදී විය යුතු බව හදවතේ දරා ගෙන සිටින සත්පුරුෂ පින්වත් සැම වෙනුවෙන්, මාගේ සම්මා සම්බුදු රඳුන් අපට ලබා දෙන තවත් අවවාද අනුශාසනාවක් මෙවර කතු වැකියට ගොනු කරන්නම්. 

අපගේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ සැවත් නුවර දෙව්රම් වෙහෙර වැඩ සිටිය දී අත්තදත්ථ නම් වූ තෙරුන් මුල් කර ගෙන සිදු කල දහම් කොටසක් ධම්ම පදය තුල අපට හමු වෙනවා.  ඒ ගාථාව තුලින් ලබා දුන් දහම් පණිවිඩය විමසා අපගේ නිවන් මඟට යොදා ගන්නට අප යොමු වෙමු.

සිද්ධිය වුනේ මෙහෙමයි. බුදු රජාණන් වහන්සේ විසින් පිරිනිවන් පෑමට සමීප කාලයේ දී මහණෙනි මම මෙයින් මාස හතරකින් පිරිනිවන්නෙමියි” පැවසූ විට එයට කම්පා වූ භික්ෂූන් හත් සියයක් බුදුන් සමීපයේ විසීම අත්හැර “ඇවැත්නි අපි දැන් කුමක් කරමු දැයි?” කතිකා කරමින් ඉන්නවා. හරියට ලොකු ප්‍රශ්නයක් වුනා ම උන් හිටි තැන් අමතක වෙලා දැන් ඉතින් මොකද කරන්නේ කියලා විසිරුණු සිත් ඇතිව කටයුතු කරන්නේ.  අන්න ඒ වගේ...

නමුත් මේ අත්තදත්ථ කියන හිමියන් නම් මෙන්න මෙහෙම හිතුවා.  සම්මා සම්බුදුන් වහන්සේ මාස හතරකට පසුව පිරිනිවන් පානවා. මමද විරාගී වු බුදුන් වහන්සේ ජීවත් ව සිටිය දී ම රහත් ඵලය සඳහා උත්සාහ කරන්නෙමි” කියලා.

එහෙම හිතුව උන්වහන්සේ අර විසිරුණු සිත් ඇතිව කම්පා වෙමින් කටයුතු කල හිමිවරුන් එක්ක හිටියේ නෑ.  ඉතින් ඒ භික්ෂූන් වහන්සේලාට මෙය හරි ගැටලුවක් වුනා.  මෙච්චර ප්‍රශ්නයක් තියෙන කොට ඇයි මේ අත්තදත්ථ හිමියන් උන්වහන්සේලා ව මඟ හැරලා ඉන්නේ කියලා.  කථාවත් කරන්නේ නැත්තේ ඇයි කියලා.  ඉතින් සුපුරුදු පරිදි ගිහින් අපේ බුදු පියාණන් වහන්සේට තමයි මේ ගැන කිව්වේ.  ඉතින් බුදු පියාණන් වහන්සේ අත්ත දත්ථ හිමියන්ගෙන් කාරණාව විමසූ විට උන්වහන්සේ පැවසුවේ “ස්වාමීනි ඔබ වහන්සේ මාස හතරකින් පිරිනිවන් පාන හෙයින් මම ඔබ වහන්සේ සිටිය දීම රහත් ඵලය ලැබීමට උත්සාහ කරන්නෙමි”. කියලා.  දන්නවා ද අපේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ උන්වහන්සේට සාධුකාර දෙනවා. ඉන් පසුව මෙසේ පවසනවා.

මහණෙනි, මට ස්නේහ ඇත්තෝ අත්තදත්ථ තෙරුන් මෙන් වීම ම වටියි. සුවඳ දුම් මල් ආදියෙන් මා පිදීම මට පුජා කිරීමක් නොවේ. ධර්මානුධර්ම ප්‍රතිපත්තියේ යෙදීම මට පුජා කිරීමක් වන්නේ ය. එනිසා අනෙක් භික්ෂූන් විසින් ද අත්තදත්ථ තෙරුන් ලෙසට විය යුතු යයි පවසා මෙම ගාථාව දේශනා කළහ.

අත‍්තදත‍්ථං පරත‍්ථෙන, බහුනාපි න හාපයෙ - අත‍්තදත‍්ථමභිඤ‍්ඤාය, සදත‍්ථපසුතො සියා”

බොහෝ වූ ද පරාර්ථය නිසා ආත්මාර්ථය නො පිරිහෙළන්නේ ය. ආත්මාර්ථය වෙසෙසා දැන, අර්‍හත්ත්‍වඵලාධිගම නම් වූ ස්වාර්‍ත්‍ථයෙහි නියැලියෙක් වන්නේ ය.”

මේ කියන්නේ කොතරම් උතුම් කටයුත්තක් වුවත් තමන් කල යුතු ම දේ මඟ හරවා ගෙන, තමන්ගේ අරමුණ පසෙක දමා අන් කටයුතු වල නිරත නොවීමට දක්ෂ විය යුතුයි” කියලයි.

අති දුලභව පහල වන සම්මා සම්බුදු කෙනෙක් “කල යුතු ම දේ” කියලා කියන්නේ නිවීම... විමුක්තිය ලැබීම මිසක් ඉන් මෙහා දේවල් නොවන බව නුවණැතිව දැකිය යුතුයි.  

සම්බුදු හිමියන්ගේ මේ දේශනාව අවසානයේ අත්තදත්ථ හිමියන් රහත් ඵලය ලබනවා.  ඉතින් මේ සිද්ධියේ අපට ගත යුතු... නිවන් මඟ පිණිස අප විසින් අවබෝධ කල යුතු තැන් බොහෝමයි.  ඉතාමත් කෙටියෙන් මෙන්න මෙහෙම කියන්නම්.

ඔබට බාහිරයේ ප්‍රශ්න කෝටියක් විතර ඒවි.  ඒ ප්‍රශ්න එන විට ඒ ප්‍රශ්නය ම විසඳීම පිණිස දහ අතේ කල්පනා කරනවා මිසක් විය යුත්ත අමතක වෙලා යනවා නේදහරියට අර භික්ෂූන් වහන්සේලාට බුදු හිමියන් පිරිනිවන් පානවා කියන දේ ඇහුවා ම වුනා වගේ.  ඉන් පසුව එය තමන්ට ප්‍රශ්නයක් කර ගෙන විසිරුණු සිත් ඇතිව කටයුතු කරනවා.  කල යුතු දේ කර ගන්නට අමතක වෙනවා. 

නමුත් අත්තදත්ථ හිමියන් ප්‍රශ්නය වගේම විසඳුමත් දැක්කා.  බාහිර වූ කාරණයක් වූ සම්මා සම්බුදු රඳුන්ගේ පිරිනිවන් පෑමට කම්පා වෙමින් ලැබී ඇති සීමිත කාලයත් අපතේ නොයවා ගන්නටයි උන්වහන්සේ තීරණය කලේ.  තමන්ට කල හැකි ද නො හැකි ද යන දේ ගැනවත් හිතුවේ නෑ.  කෙටියෙන් ම කියනවා නම්  කම්පා වෙමින් විසිරිලා ඉන්න භික්ෂූන් වහන්සේලා සනසවමින් කරුණු පහදා දෙන්නට වත් කාලය වෙන් කලේ නෑ. “කල යුත්ත මෙයයි, මා එයට කැප වෙමි!” කියන අදිටන තුලයි කටයුතු කලේ.

අත්තදත්ථ හිමියන් ලැබූ සියලු අවස්ථා අනෙක් විසිරුණු සිත් ඇති හිමිවරුන්ටත් ලැබුණා.  නමුත් අත්ත දත්ත හිමියන් තමන්ට ලැබුණු අවස්ථාවෙන් නිසි ඵල නෙලා ගත්තා.

මෙන්න මේ දේ ගැන නුවණින් දකින්න... විසිරුණු සිත් සනසමින් ආශීර්වාද කරමින් සෙත් පතනවා නම් තමයි බහුතරය කැමති... බුදු රඳුන්ට හෝ වේවා උතුමන්ට හෝ වේවා මලක් පහනක් සුවඳ දුම් පූජා කරලා මේ ප්‍රශ්න විසඳගන්නට සෙත් පතන්නට ඇත්නම් තමයි බහුතරය කැමති... රෝගයක් නම් රෝගය නැති කර ගන්නට හදන්නේ බුදු හිමියන් ඇතුළු උතුමන්ට පූජා පැවැත්වීම තුලිනුයි... රටේ දේශපාලන ප්‍රශ්නයක් නම්... මිනිසුන්ගේ හිත් විසිරිලා නම් ඒත් පූජාවන් කරලා සෙත් පතන්න තමයි උත්සාහ කරන්නේ... බහුතරයක ගේ බලාපොරොත්තුවත් එයයි.  නරක නෑ... හොඳයි... ලෞකිකයි... සුගතිගාමීයි... පැවැත්මට හේතු සහිතයි... පැවැත්ම තුලම තමයි.  බුදු හිමියන් අගය කල සාධුකාර දුන්න ක්‍රම වේදය නෙවේ. 

නමුත් බුදු හිමියන් සාධුකාර දුන්නා වූ ප්‍රතිපත්තිමය පූජාව... තම තම නැණ පමණින් තමන්ට හැකි පමණින් මේ සසර දුක් කෙළවර කර ගැනීම පිණිස කල යුත්ත කර ගැනීමට යොමු වීම... කැප වීම... ඒ වෙනුවෙන් වචනයක් හෝ ඇසීම... මුහුණ දෙන්නට සිදුව ඇති ප්‍රශ්නය හඳුනා ගෙන කල යුත්ත කර ගැනීමට කැප වීම. 

ප්‍රශ්න වලට අඳෝනා ගසමින් හඬමින්... කෑ මොර දෙමින්... එකිනෙකාට දොස් කියා ගනිමින්... අපට කුමක් වෙම්දෝ යි, බය වෙමින්... විකෘති වූ මානසිකත්වයකින් කටයුතු කිරීම නොවේ සිදු විය යුත්තේ.  නමුත් කෙනෙක් මෙය පෙන්වා දෙන විට එයටත් ගැටෙනවා නම්... එය ප්‍රතික්ෂේප කරනවා... අහන්න වත් කැමති නැති නම්... ඔබ ප්‍රමාදයි.  වික්ෂිප්ත වූ භික්ෂූන් පිරිස වගේ.  

නමුත් ඔබ “නෑ මම කැප වෙනවා.  මට හැකි උපරිමයෙන් ම කැප වෙනවා. මේ හැම දෙයක් තුලම මට ඉඟියක් ලැබෙන්නේ.... තත්වය තවත් දරුණු බව, ශාසනය සැබැවින් ම අවසාන භාගයේ පවතින... බුදු රඳුන් “තව මාස 4යි” කියලා දැනුම් දීමක් කලා වගේ... ඒ නිසා මම කැප වෙනවා.” මෙන්න මේ අදිටන හිතට ගන්න... කැප වෙන්න... ඔබටත් මටත් අත්තදත්ථ හිමියන් සේ කල යුත්ත කර අවසන් කර ගැනීමට හැකි වෙනවා නියතයි!

ඉතින් අපගේ සම්මා සම්බුදු හිමියන් විසින් සෑම අවස්ථාවකට ම... සෑම කාරණයකට ම... මුල මැද අඟ කලණ අංග සම්පූර්ණ ධර්මයක් පෙන්වා දෙනවා. තමන්ට හැකි පමණින් කැප වෙන්න විතරයි තියෙන්නේ.  ප්‍රතිඵලය ඒ මොහොතක් පාසා අත්දැක ගන්නට හැකි වේවි!  නමුත් තීරණය තමන්ගේ අතේ!    

මෙවැනි නිවෙන දහමින් සිත නිවා ගැනීමට කැමැත්තේ නම් පිවිසෙන්න“නිර්වාණ ධර්ම” වෙබ් අඩවියට!

No comments: