නිර්වාණ ධර්ම බ්ලොග් අවකාශය | Nirvana Dhamma BLOG

About this Blog | මෙම බ්ලොග් අඩවිය ගැන...

"මෙය “නිර්වාණ ධර්ම“ වෙබ් අඩවියට සමගාමීව ඔබ වෙත ලබාදෙන බ්ලොග් අඩවියයි! මෙසේ අවස්ථාවන් රැසක් තුලින් සත්ධර්මය කැටිකොට ලබාදෙන්නේ අතිශයින්ම බුද්ධිමත් සැබෑම මිනිසුන් වෙත පමණයි! ඔබේ ආගම ජාතිය කුලය තත්ව තානාන්තරය කුමක් වුවත් සැබෑම මිනිසෙක් ලෙසින් ප්‍රයෝජනයට ගෙන යහපත, සැබෑ සතුට, සැනසීම උදාකරගැනීම පිණිස “නිර්වාණ ධර්ම“ වෙතින් වෙන් වන අවකාශයයි!“
"This is the BLOG of "Nirvana Dhamma" web site which is Strictly for Human beings only! No matter what your status in this world is, No matter what you believes on, No matter what your religion is, Only matter is that whether you are a human being or not to gain the maximum benefits through all these efforts!"

Monday, September 27, 2010

බහා බැලිය යුතු සූත්‍රය හා විනය කුමක්ද?


සැබෑ ධර්මය සොයා ගැනීමට නම් සූත්‍රයට බහා බලන්න විනයට බහා බලන්න කියලා කියනවා... ඒත් මේ බහා බැලිය යුතු සූත්‍රයයි විනයයි මොකක්ද කියලා තෝරගන්න තවමත් නොහැකි වුණානම් ඔන්න ඒ සඳහා උපකාරයක්ම වීමට මේ බ්ලොග් සටහන තබන්නට මා අදහස් කලා...සූත්‍රයයි විනයයි කිව්වාම ගොඩක් අය කියනවා බහා බැලිය යුතු සූත්‍රය නම් ත්‍රිපිඨක ග්‍රන්ථ මාලාවේ සූත්‍ර පිඨකයත් විනය පිඨකයත් යන පිඨක කොටස් දෙක බව... තවත් අයෙක් කියනවා සූත්‍රාභිධර්මපිඨකයේ “සුත්ත“ කොටසත් විනය පිඨකයත් කියලා... තවත් අයෙක් කියනවා සුත්ත විභඞගයත් විනය පිඨකයේ ඛන්ධක කොටසත් කියලා තවත් අයෙක් කියනවා මුළු ත්‍රිපිඨකයම සූත්‍රයයි එහි කාරණය තමයි විනය කියලා කියන්නේ කියලා...

කව්රු කොහොම කෙසේ කීවත් නුවණැත්තන් විසින් විමසා බලා නිවන් මග පූර්ණය කරගන්නට සුදුසු දේ තෝරා බේරාගැනීම වැදගත් වෙනවා... සම්මා සම්බුද්ධ දේශනාව නිවැරදිව හඳුනාගැනීමට බහා බැලිය යුතු සූත්‍රයත් විනයත් කුමක්ද කියලා බොහෝම අපූරුවට නෙත්තිප්‍රකරණයේ පෙන්වා දී තිබෙනවා.

සූත්‍ර පිඨකය < ඛුද්දක නිකාය < නෙත්තිප්‍රකරණය < පටිනිද්දෙසවාරො < 3. යුත්තිහාර විභඞගය < ග්‍රන්ථයේ පිටුව 39 (PDF පිටුව 58) යන ස්ථානයේ පළවෙනි ඡේදය හොඳින් කියවා බලන්නට ඔබ සැමටම හැකියාවක් තියෙනවා. මේ සටහනට මම එහි වැදගත්ම කොටස උපුටා දක්වන්නම්...


මෙහි වැදගත්ම කොටස තමයි යටින් ඉරක් ඇඳලා පෙන්නලා තියෙන්නේ...
කතමස්මිං සුත්තෙ ඔතාරයිතබ්බානි: චතුසු අරියසච්චෙසු.
කතමස්මිං විනයේ සන්දස්සයිතබ්බානි: රාග විනයෙ දෝසවිනයෙ මොහ විනයෙ.
කතමියං ධම්මතායං උපනික්ඛීපිතබ්බානි: පටිච්චසමුප්පාදෙ.

එහි සිංහල අර්ථය දක්වා ඇත්තේ මෙසේයි...

එහි යටින් ඉරි ඇඳ පෙන්වා තිබෙන්නේ ඉහත පාලි කොටසේ සිංහල අර්ථයයි... ඒ කියන්නේ
කවර සූත්‍රයෙක අවතරණ කළ යුත්තාහ යත්: සතර ආර්ය සත්‍ය සූත්‍රයෙහි යැ.
කවර විනයක සසඳාලියැ යුත්තාහ යත්: රාග විනයෙහි දෝසවිනයෙහි, මෝහ විනයෙහි යැ.
කවර ධර්මතායෙක බස්වාලියැ යුත්තාහ යත්: ප්‍රතීත්‍යසමුත්පාද ධර්මතායෙහි යි.
සටහන් තැබීමේදී වෙන ප්‍රමාද දෝෂයක්වත් සිදු නොවන්නට වග බලාගත යුතු නිසා ත්‍රිපිඨකයෙන්ම අදාල කොටස දක්වන්නට තීරණය කලා... 

ඉතින් කව්රු කෙසේ කොහොම කීවත් ඔබ වෙනුවෙන් ඔබ විසින්ම ඔබේම නුවණ මෙහෙයවා මේ කියන ආකාරයෙන් නිවැරදි ශ්‍රී සත්ධර්මය තෝරාබේරාගෙන එයින් උපරිම ඵල නෙලාගෙන ආර්ය මාර්ගයට පිවිස නොපමාව තම තමන් වෙනුවෙන් යහපතක්ම කරගන්නට නුවණින් විමසා කටයුතු කිරීම වඩාත් සුදුසු යැයි මට සිතේ.
මා ඵල ලැබුවේය මා ධර්මය දන්නේය මා ධර්මය මෙතෙක් හදාරා ඇත්තේය මා ධර්මයෙහි පරතෙරට ගොස් ඇත්තේය මා කියන්නේ සැබෑ සත්ධර්මය වන්නේය මා බුදුන්ගෙන්ම ධර්මය ඇසුවේය මා මේ මේ ඵල ලබා ඇත්තේය මා ධර්මාවබෝධයට පත්ව ඇත්තේය මා ත්‍රිපිඨාකධාරී වේය මා අභිධම්මික වේය මා මෙසේ වේය මා එසේ වේය ලෙසින් අප අතරම සිටින භික්ෂු භික්ෂූණී පිරිස් සහ ගිහි පිරිස් අතර තම තමන් ගැන කෙසේ කීවත් ඒවා එකවර ගරහමින් ඉවත නොදමා එකවර අගයමින් හිස්මුදුනෙන් පිලිනොගෙන සම්බුදු පියාණන්වහන්සේගේ ශ්‍රී මුඛ දේශනාව වන නිවන උදෙසාම වන සත්ධර්මය හඳුනාගන්නට ඉහත ලෙසින් සූත්‍ර යෙහි විනයෙහි ධර්මයෙහි බහා බලමින් ඒ ඒ කියන දේ උරගා බලමින් තම තමන්ගේ නිවන අත්දැකීමට ඒවා උපනිශ්‍රයක් වේ නම් ඒ ඒ දේ පිලිපැද අනවශ්‍ය දේ බැහැර කරමින් සිත, කය, වචනය සංවරත්වයේ පිහිටුවාගෙන තම තමන්ගේ මාර්ගය පූර්ණය කරගැනීමට නොපමාව කටයුතු කිරීම වඩාත් සුදුසුයැයි මට සිතේ!

ත්‍රිපිඨක ග්‍රන්ථයන් ඇසුරු කරන ඔබට නෙත්තිප්‍රකරණය වඩාත් ප්‍රයෝජනවත්ම ත්‍රිපිඨක කොටසක් ලෙසින් මා දකී... එයට හේතුව ත්‍රිපිඨකයේ අඩංගු සෑම දෙයක්මත් ඉහත ලෙසින් තෝරාබේරාගෙන නිවන් මගට උපකාර වෙන දේ තෝරාගන්නට මාර්ගෝපදේශයක් ලෙසින් වැදගත් කරුණු රාශියක් ගොනු කර ඇති කොටසක් වන නිසාමය.

ඉතින් පොතේ තිබුණත්, වෙන අයෙක් කීවත්, පරම්පරාවෙන් ගෙනාවත්, කාලයක සිට පුරුදු පුහුණු කල නිසාවත් කිසිවක් හිස් මුදුනෙන් පිලිගන්නට අවශ්‍යතාවයක් නුවණැති ප්‍රඥාවන්තයින්ට නම් වුවමනා වෙන්නේ නැත... මන්ද එවැනි අය තමන්ට ලැබී ඇති නුවණ නිසි සේ යොදාගැනීමට උත්සූක වන හෙයිනි... 
පෙර ලෙසින් පොතේ මෙහෙම තිබෙනවාය, අපිට ඉගැන්වූයේ මෙසේය, අපේ පරම්පාරවම දන්නේ මෙසේය, මෙච්චර කාලයක් පුරුදු කලේ මෙසේය, කියා ඇත්තේ මෙවැනි තනතුරු ඇති අයෙක්ය, මේ මේ භාෂාවේ මේ මේ අකුරුවලින් මේ මේ දේ කියන්නේය, මේ අකුරු වලට නොගැලපෙන්නේය, මේ භාෂාවට නොගැලපෙන්නේය... ආදී නොයෙක් ලෞකික සම්මතයන් තුල අතරමංව තමන් ලඟම තියෙන තමන්ගේ නුවණ මෙහෙයවූවොත් යහපතක් වේ යැයි විශ්වාස නොකර පෙර කී මත තුලම ස්ථිරවී සිටින්නන්ට දැකිය හැකි නිවනක් නැත... මන්ද එවැනි අය ඒ ඒ දේ ඔස්සේ ඇලී රාග ගින්නෙන් දැවෙන්නේය... ඒවාට විරුද්ධ දේ එනවිට ද්වේශ ගින්නෙන් දැවෙන්නේය... ඒ ඒ රාගයේ ඒ ඒ ද්වේශයේ රැඳෙමින් දැවටෙමින් කාලය කා දමමින් මෝහ ගින්නෙන් දැවෙන්නේය... දැවෙන බවවත් නොදනී නම් නිවිය හැකි බව කෙසේ නම් දැන ගනීද?
අප්‍රමාදව තම තමන්ගේ නුවණින් උපරිම ඵල නෙලාගෙන යහපතක්ම කරගැනීමට පෙළඹෙත්වා!! තිසරණ සරණ ලැබ නිවී සැනසෙත්වා!!

1 comment:

nalin said...

very useful, thank u very much.

-nalin