සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවාසී ජනතාව දේශපාලනයටම දොස් පවරමින්... රාජ්‍ය පාලනයට දොස් පවරමින්... ඒ දෙන උපදෙස් වලට අනුගත නොවෙමින්... ව්‍යසනය ඉවර වෙන දිනය නියම කරන්නට හැකි සර්ව බලධාරී ජනාධිපති කෙනෙක් සොයමින්... එසේ නොකරන නිසාවෙන් තවමත් දැහැමි රජෙක් සුරපුරයක් මවන තෙක් සිහින මවයි...
කොතරම් කැපවීමෙන් ඉටු කල හැකි බොහෝ දේ කර දුන්නත් ඒවායේ කිසිඳු වටිනාකමක් අගයක් නොදැක අඩුපාඩුම සොයමින් තමන්ගේ යුතුකම්ද පැහැර හරියි... වෛරයද පතුරුවයි...
ගෙයක් දොරක් පාලනයක් කරගන්නට නොහැකි බහුතරය රටක් පාලනයට උපදෙස් දෙමින් සුපුරුදු පරිදි කල යුතු දේ කල හැකි දේ මඟ හරිමින් මඟ හැරගනිමින් සිටී....
ඒ අතරේ සියලු ව්‍යසනයන්ට ගොදුරුව ලබා ඇති ජීවිතයද නැතිවෙයි... දරාගෙන සිටි ද්වේශ සහගත අදහස් නිසා සුගතියද අහිමිවෙයි...
මේ මානසිකත්වය කොතරම් පහත් තත්වයට ඇද වැටිලාද කියනවා නම් බුද්ධ විෂය සංඝ විෂය යනාදී උතුම් ගුණයන්ද තම තම දැනුම් මට්ටමින් විවේඡනය කරන්නට මෙය අවස්ථාවක්ද කරගෙන සිටිනවා...
මේ සෑම දෙයක් තුලින්ම ව්‍යසන තත්වයන් තව තවත් දරුණු වෙනවා මිසක් ලැබෙන යහපතක් නැති බව තෝරාගන්නට තරම් මානසිකත්වයක් අවශ්‍ය නම් ඇති කරගන්නට හැකිවුවත් ඇති කර නොගැනීමට බහුතරය කටයුතු කරනවා.
තමන් සහ ස්වභාව ධර්මය කියන්නේ එකිනෙකට බැඳී පවතින්නක් කියලා වැටහීමක් තවත් නෑ. තමන්ගේම විස තමන්ටම හානි කරන බව දැකගන්නට මොහොතක් නතර වෙන්නේ නෑ. ඒ දේවල් පෙන්වා දෙන විටදීවත් ඒවා අසාගෙන යහපතක් කරගන්නට උත්සාහවන්ත වන්නේ නෑ.
නුවණැත්තෙකුට ව්‍යසනයක් කියන්නේ ප්‍රශ්ණ ඇති කාලයක් කියන්නේ තම තමන්ගේ මානසිකත්වය... තම තමන්ගේ වැඩ කටයුතු ගැන... තමන්ගේ ජීවිතය ගැන නැවත සොයා බලන්නට ලැබෙන අවස්ථාවක්... තමන්ගෙන් සිදුවන වැරදි අඩුපාඩු විමසා බලා ශක්තිමත්ව මේ ව්‍යසනයන්ට මුහුණ දෙමින් නැවත මනුසත් ගුණ ධර්ම වඩන්නට ලැබෙන අවස්ථාවක්...
එහෙත් අනුවණයාට ව්‍යසනය ඉක්මවා ගිය ව්‍යසනයක් තම තමන්ගේ අභ්‍යන්තරය තුලම හටගන්නවා... බිය... තරහා... වෛරය... දොස්දැකීම්... කුහක බව... කෘතගුණ නොදත් බව...
බහුතරය තුල වූ මේ චිත්ත භාවය හෙවත් ස්වකීය ස්වභාවය සකස් කල විපාක ශක්තිය මෙවර එළිබැස්සේ හෙම්බිරිස්සාවක් වැනි සුළු තත්වයක් මරණ තර්ජනයක් බවට පත් කරමින්. කාලෙන් කාලෙට විවිධාකාර විදියට එළි බසිනවා. ඒත් මෙවර හෙම්බිරිස්සාවක්... සොබාදහම හරියට ඔච්චම් කරනවා වගේ... ඉන්න තත්වය ... ඉන්න තැන තේරුම් ගන්න පොඩි විහිලුවක් කලා වගේ...
පුංචි පුංචි දේ රැස් කරමින් මහා වෛරයක් කරගෙන එකිනෙකාට දොස් තැබූ දෝසය කළ එළි බැහැලා... පොඩි ඉඟියක් දෙනවා... දැන්වත් තේරුම් ගනිල්ලා කියලා...
ඒත් නෑ... බහුතරය තවමත් මේ තුලත් යුතුකම් ඉටු කරන්නන්ගේ අඩුපාඩුමයි හොයන්නේ... තමන්ගේ යුතුකම් පැහැර හැරීමමයි කරන්නේ... පුංචි පුංචි කරුණු රැස් කරගෙන වෛරයෙන් සිත් පුරෝගෙන... මරාගෙන මැරෙන්න වුනත් සුදානමක්... හෙම්බිරිස්සාව වුණත් මාරාන්තික වෙන එක අහන්නත් දෙයක්ද...
මෙයිට වඩා දේවල් ඉදිරියේදී ලැබෙන විට කෙසේ නම් මුහුණ දෙන්නද මොහොතකටවත් සිතුවාද?
මේ අතරේ මිනිසුන් පිරිසක් ලෝකය පුරාම ඉන්නවා මේ ව්‍යසනයන් ව්‍යසනයන් ලෙසින් නොදැක මහා ශක්තිමත් මනසක් දරාගෙන අන් අයටත් සිතිවිල්ලක් පාසා සෙත් පතන. ඒ අයව මේ කියන බහුතරයක් පිරිසට මහා මෝඩයන්... ව්‍යසනයකට බියෙන් තැතිගැන්මෙන් කලබලයෙන් කටයුතු නොකරන මහා මෝඩයන් පිරිසක්...
පුංචි කාලේ කතාවක් අහලා තියෙනවා... කොහේ තිබිලා ගත්තද මොන පොතේද බුදු හාමුදුරුවෝ කිව්වද අරවා මේවා නම් දන්නේ නෑ... හැබැයි ඒ කතාවේ හරය ඇත්තක් වෙන බවක් මේ සිද්ධියේදීත් පේන්න තියෙනවා...
මුලින්ම කතාව කියන්නම්කෝ.... ඒ කතාවේ හැටියට ලෝක අවසානය ලංවෙනකොට “මුරුගසං වර්ෂාව” කියලා වැස්සක් වහිනවාලු.... ඒ වැස්සට තෙමෙන මිනිස්සු මෘගයෝ වගේ ඒ කියන්නේ තිරිසන් සත්තු වගේ හැසිරෙනවාලු.... එකිනෙකා මරාගෙන එකිනෙකාට වින කරගන්නවලු... මේ බව කල්තියාම දකින දෙවිවරු නොයෙක් ආකාරයෙන් මේ මිනිස්සුන්ට මේ වැස්ස ගැන අනතුරු අඟවනවලු... ඒ වැස්සට තෙමෙන්නේ නැතුව ආවරණය වෙලා ඉන්න විදිය ගැන කියලා දෙනවලු... ඒත් මිනිස්සු මේ දෙවිවරු කියන දේවල් ගනං ගන්නේ නෑලු... දෙවිවරුන්ට පිස්සු කියලා තම තමන්ගේ වැඩ කරගෙන ඉන්නවලු... ඒත් ඉතාම සුලු පිරිසක් විතරක් මේ වැස්සට සූදානම් වෙලා තම තමන්ගේ ආරක්ෂාව සපයා ගන්නවලු... ඔන්න වැස්ස වහිනවා... කියන දේ ඇහුව නැති හිතුවක්කාර මිනිසුන් තිරිසන් සතුන් බවට පත්වෙනවා... එකිනෙකා මරාගන්නවා... අර සූදානම් වූ කීප දෙනා විතරක් මනුස්ස ගුණ ධර්ම රැකගෙන අර තිරිසන් සත්ව ගති ආව මිනිසුන්ගෙනුත් ආරක්ෂා වෙලා යහපතක් කරගන්නවා. දෙවියන් කම්පා වුණත් දෙවියොත් හිතනවා "අනේ ඉතින් අපි ඒ මිනිසුන්ට අනතුරු ඇඟෙව්වානේ... මෝඩකමට ඒ අය අනතුර හඳුනාගත්තේ නෑනේ... මොනවා කරන්නද" කියලා...
මේ කතාව එක එක අය එක එක විදියට අහලා තියෙනවා ඇති... මේ මම ඇහුව කතාව. මට නම් හිතෙන්නේ මේ වැස්ස වහිනවා බහුතරය දැන් ඒකට තෙමෙනවා කියලයි. බහුතරයක් මිනිස්සු තුල තිරිසන් සත්ව ගති සතර අපාගත අමනුස්ස ගති ප්‍රකට වෙමින් තියෙනවා. තවමත් බේරෙන්න අවස්ථාව තියෙනවා. දැන්වත් කියන දේ ඇහුවේ නැතිවුනොත් බේරගන්න කව්රුවත්ම නැතිවේවි.
බුදු හිමියන් ඇතුලු ශාස්තෘවරුන්ට උතුමන්ට ගරු කරන ගුණ වර්ධනය කරගන්න...
අනුන්ගේ වරද දකින ස්වභාවය අඩු කරගන්නට උත්සාහවන්ත වන්න...
තවත් අයට වරද පටවන්නේ නැතිව තම තමන්ගේ යුතුකම නිවැරදිව ඉටු කරනවාදැයි විමසා බලන්න.
හැමදේම සියල්ලෙන් සියල්ල දන්නවා වගේ තමන් දන්න දැනුමට හිර වෙලා තීන්දු තීරණ අරගෙන මෘගයෝ බවට පත් නොවන්නට තමන්ව ගලවා ගන්නට කටයුතු කරන්න...
යමෙක් යමක් පෙන්වා දෙන විට ඒ ගැන තම තම නැණ පමණින් විමසා තමන්ටත් අනුන්ටත් යහපතක් වෙන ආකාරයට කටයුතු කරගන්නට උපරිමයෙන් කැපවෙන්න!
ඔබ තවමත් ආගමට දහමට විද්‍යාවෙන් ඔබ්බට ගිය දැනුමට ගෝචර නොවන දේ විවේඡනයට පත්කරමින් සිටියාට ඔබේ ඔය දැනුම් පද්ධතියට විද්‍යාවට ස්වභාව දහමේ ව්‍යසනයක් නවතා ගන්නට අදටත් බෑ නේද? කොටින්ම ඇවිලෙන ගින්නක් නිවාගන්නට නොහැකියි... පැතිරෙන හෙම්බිරිස්සාවක් නවතාගන්නට නොහැකියි... නියඟයක්... සුනාමියක්... ගංවතුරක් නවතාගන්නට නොහැකියි... දැන්වත් හිතන්න... තවමත් පරක්කු නෑ...
බුදු බණ ඇසුනා නිරන්තරේ... බහුතරය තවමත් වනන්තරේ... දැන්වත් හිතන්න... මල මිනියක තවත් මොනවා මැරෙන්නද? මරණයෙන් මිදෙන්නට දැන්වත් කටයුතු කරගන්නට උත්සාහවන්ත වෙන්න!
අකම්පිතව සිටින්නෝත් මේ ව්‍යසනයන්ට ගොදුරු වෙලා මැරේවි... ඒත් වෙනස තමයි ඒ අය මේ ව්‍යසනයන්ගෙන් ව්‍යසනයන්ට ගොදුරු වුනේ නෑ... ඒ අය බිය, තරහා, වෛරය, දොස් සොයන කුහක ස්වභාවයන් ආදී විස ශරීරගත කරගත්තේ නෑ... මහා සැනසීමකින් ශක්තියකින්... සාමකාමීව මරණය වැලඳගන්නට ඒ අයට හැකියාවක් තියෙනවා. මරණය ඉක්මවා මරණය විඳගන්නට හැකියාවක් ඒ අයට තියෙනවා.
අඩුම තරමේ එහෙම තත්වයක් ලැබුවෙත් අපි වගේම මිනිස්සුම නේදැයි සිතා බලන්න... අපට ලැබුන කාලයම... අපට ලැබුන පරිසරයම නේද ඒ අයට ලැබුනෙත් කියලා සිතා බලන්න...
තම තමන්ව ගලවා ගන්නට ඒ කියන තත්වයට පත් කරගන්නට දැන්වත් කටයුතු කරගන්නට උත්සාහවන්ත වීම තමන්ටම භාරයි.
කිසිවෙකුටත් ඔබව ගලවා ගත නොහැකියි... තමන්ව ගලවා ගත හැක්කේ තමන්ටම පමණයි... තමන්ගේ ගැලවුම්කාරයා බවට පත්වෙන්නට අප්‍රමාදී වන්න!
1 comment:
පුංචි කාලේ කතාවක් අහලා තියෙනවා... කොහේ තිබිලා ගත්තද මොන පොතේද බුදු හාමුදුරුවෝ කිව්වද අරවා මේවා නම් දන්නේ නෑ...
චක්කවත්ති සීහනාද සූත්‍රය තුල මෙසේ සඳහනක් අැත https://pitaka.lk/main/?n=17120
104
මහණෙනි, මිනිසුන් අතර දස අවුරුද්ද පරමායුෂකොට ඇති කල්හි සත්දවසක් මුළුල්ලෙහි ශස්ත්‍ර අන්තර් කල්පය (ආයුධවලින් ඇන කොටා ගෙන විනාශ වන කාලය) වන්නේය. ජනයා අතර ඔවුනොවුන් කෙරෙහි මෘගසංඥාව (මුවෙකැයි යන හැඟීම) ඇති වන්නේය. ඔවුන් අතට අසුවූ අසුවූ දැය ආවුධ වන්නේය. ඔව්හු තියුණු ආවුධවලින් මේ මුවෙක මේ මුවෙකැයි ඔවුනොවුන් කපා, කොටා ජීවිත විනාශකර ගන්නාහ.
මහණෙනි, ඒ මිනිසුන්ට මෙබඳු අදහසක් වන්නේය. “ අපි කිසිවෙකු නොමරමු. කිසිවෙක් අප නොමරත්වා. අපි තණ ලැහැප්වලට හෝ පඳුරුවලින් ගැවසීගත් ස්ථානවලට හා ගස්වලින් ගැවසීගත් ස්ථානවලට හෝ ගංගා මැද දූපත් වලට හෝ කඳු මුදුන්වලට හෝ පැමිණ, වනයෙහිවූ අලමුල් පල වැල කා ජීවත්වන්නෙමු නම් යහපතැ’යි සිතා, ඔව්හු ඒ තණවලින් ගැවසීගත් ස්ථාන ආදියට පැමිණ සතියක් ජීවත්වෙත්. නැවත ඒ තණලැහැප් ආදීන් නික්ම අවුත් ඔවුනොවුන් වැළඳ ගෙන ‘අපි යම්සේ ජීවත් වෙමුද එසේ ජීවත්වන සත්වයෝ දක්නා ලද්දාහුයයි’ සතුටුසාමීචි කථාකොට මිත්‍රයන් කෙරෙත්.
105
මහණෙනි, එකල්හි ඒ මිනිසුන්ට මෙබඳු අදහසක් වන්නේය. අපි අකුශලධර්මයන්හි යෙදුනබැවින් මහත්වූ මෙබඳුවූ නැදෑයින් විනාසයට පැමිණියෝ වමු. අපි කුසල්කරන්නෙමු නම් යහපති. කවර කුසලක් කරන්නමුද? අපි ප්‍රාණඝාතයෙන් වළකින්නමු නම් මැනවි. මේ කුසල ධර්මය සමාදන්ව පවත්නෝවමු’ කියායි. ඔව්හු ප්‍රාණඝාතයෙන් වළකින්නාහුය. මේ කුසල ධර්මය සමාදන්ව පවත්නාහුය. ඔව්හු කුශල ධර්මයන් සමාදන්වීම හේතුකොට ගෙන ආයුෂයෙන්ද වැඩෙන්නාහ. වර්ණයෙන්ද වැඩෙන්නාහ. ආයුෂයෙන්ද වර්ණයෙන්ද වැඩෙනු ලබන්නාවූ ඒ මිනිසුන්ට විසිවස් ඇති පුත්‍රයෝ වන්නාහ.
Post a Comment