කොහෙද අම්මේ / තාත්තේ?
අතිශයින් ම නුවණ මාත්‍රයක් ඇති වැඩිහිටියන් වෙත කරුණාවෙන් ලියමි,මුලින් ම පුංචි කතාවක් කියන්නම්.
මම පුංචි කාලයේ මට ඇසුරු කරන්නට ලැබුණු වැඩිහිටි
පාර්ශවයෙන් සෑහෙන වාරයක් අහගත්ත වචන ටිකක් තිබ්බා. විශේෂයෙන් ම අපේ අම්මාගේ ලොකු මල්ලී... මගේ
ලොකු මාමාගෙන් නිතරම අහගත්ත වචන ටිකක්.
“මේ ලොකු අයගේ කතා වලට පොඩි අය සම්බන්ධ වෙන්නේ නෑ...
යනවා යන්න ගිහින් සෙල්ලමක් කර ගන්නවා”
තවත් එක්තරා අවස්ථාවක් තිබුනා... මගෙත් එක්ක සෙල්ලම් කරන
මට වඩා ටිකක් විතර වයසින් වැඩි ගමේ අයියා කෙනෙකු යි අක්කා කෙනෙකු යි හිටියා. ලොකු වයස් පරතරයක් නැති වුනා ම සෙල්ලම් කරන
සඟයෝ විදියට නේ ඉතින් දැනෙන්නේ... දවසක් එයාල ගේ ගෙදර ලොකු අය ලොකු වලියක්. නරක වචන කියා ගනිමින් රණ්ඩු වෙනවා. අනේ මගේ සෙල්ලම් සඟයෝ දෙන්න හරි හරියට නරක වචන
කියමින් වැඩිහිටි පාර්ශවයත් එක්ක වලියට එකතු වෙලා. අදටත් මට එදා දැනුන හැඟීම මතකයි. මම ගල් ගැහුණා. ආ... මේ ලොකු අය නේ කියලා දැනුණේ. එදා ඉඳලා මට ඒ අයත් එක්ක සෙල්ලම් කරන්න හිත දුන්නේ ම
නෑ. මට දැනුණේ ඒ අය වැඩිහිටියෝ කියලා.
“මේ ලොකු අයගේ කතා වලට පොඩි අය සම්බන්ධ වෙන්නේ නෑ...
යනවා යන්න ගිහින් සෙල්ලමක් කර ගන්නවා”
මෙන්න මේ දෙබස වැඩි පුරම මට කිව්ව අපේ ලොකු මාමා ඇතුළු මාව
පන්නලා දැමූ වැඩිහිටියන්ට මම අදටත් නමස්කාර කරනවා!
ඒ ඇයි දන්නවද?
ඒ දෙබස නිසා මට පුංචි දරුවෙක් විය යුතු කාලයේ දී කොතරම්
ප්‍රශ්න ගැටලු තිබුනත්, සෙල්ලම් කරමින් ඒ ළමා කාලයේ සුවය හරියට විඳ ගන්නට හැකි
සැබෑ ම පුංචි දරුවෙක් වෙන්න අවස්ථාව ලැබුණා.
මම පුංචි කාලෙ අපේ ගමේ ම විදුලිය තිබ්බේ නෑ... විදුලිය ලැබුණේ
90 ගණන් වල... එතකොටත් විදුලිය කපන කාලයකට මුහුණ දුන්නා... ගෙදර බඩු ගන්න එච්චර
මිල මුදල් තිබුණේ නෑ... වැඩිහිටි අය කතා කරන ඒවට හොරෙන් කන දානවා නේ ඉතින් කොහොම
එපා කිව්වත්... එතකොට ඒ අය ඕන තරම් කතා කරනවා ඇහුණා දේශපාලන ප්‍රශ්න ගැන... රට
ගැන... නමුත් කවදාවත් දරුවෙක් විදියට මට ඒ දේ අදාළයි කියලා මට දැනුණේ නෑ.
ගෙදර ප්‍රශ්න... රටේ ප්‍රශ්න... ලෝකේ ප්‍රශ්න... පුංචි මනසට
වදයක් වුනේ නෑ. ඒ කාලේ දකින්නට තිබුණ ප්‍රශ්න ගැන 80ගණන්... 90ගණන් මතක අය දන්නවා
ඇති. නමුත් ඒ එක ප්‍රශ්නයක් වත් පුංචි
මනසට වදයක් නො වෙන්න වග බලා ගන්න තරම් ප්‍රබල එක වාක්‍යයක් තිබුනා.
“මේ ලොකු අයගේ කතා වලට පොඩි අය සම්බන්ධ වෙන්නේ නෑ...
යනවා යන්න ගිහින් සෙල්ලමක් කර ගන්නවා”
මේ වාක්‍ය ඇතුලේ එකක් නම් දැනුන... ලොකු වුනා ම සෑහෙන ප්‍රශ්න
ගොඩකට මුහුණ දෙන්න වෙනවා. ඒ දේවල් වලට මුහුණ
දෙන්න බලා ගෙන ලොකු වෙන්න ඕන කියලා.
අද මම වැඩිහිටියෙක්... නමුත් නරක වචන කියමින් රණ්ඩු වෙන
දාහක් අතරේ එක නරක වචනයක් නො කියන්න තරම් ශක්තියක් ඇති වැඩිහිටියෙක්.
“මේ ලොකු අයගේ කතා වලට පොඩි අය සම්බන්ධ වෙන්නේ නෑ...
යනවා යන්න ගිහින් සෙල්ලමක් කර ගන්නවා”
පුංචි අයට කියන සහ කියන්න ඕන කියලා විශ්වාස කරන වැඩිහිටියෙක්.
ඒ කාලෙත් අරගල තිබුනා.
නමුත් ඒ කාලේ වැඩිහිටියන්ට නුවණ තිබුණා දරුවන්ට දරුවන්ගේ ලමා කාලය
දෙන්න. ඒ අය අරගල කලේ දරුවන්ගේ අනාගතය
සුභ කරවන්න. දරුවන්ට කිව්වේ නෑ ඔයාගේ
අනාගතය හදන්න යි මම මේ අරගල කරන්නේ එන්න මාත් එක්ක පෙළපාලි යමු කියලා. ඒ අය කිව්වේ
“යන්න පුතේ සෙල්ලම් කරන්න... ගිහින් පාඩමක් කර ගන්න... අපි ඔයාගේ අනාගතය වෙනුවෙන්
අපට පුළුවන් විදියට දේවල් කරන්නම්” කියලයි
පසුගිය වසරක විභාග කාලයේ දීත් දැක ගන්නට තිබුනා පුංචි
දරුවන් වැඩිහිටියන් වගේ පාලකයන්ට... ගුරු භවතුන්ට දොස් කියමින්... අපට
අසාධාරණයක් වුනා කියලා හඬමින් අරගල කරනවා.
ඒ සිදුවීම අගය කරමින් මාධ්‍යයේ පමණක් නොවේ ඒ දේට මහා සහායක් දෙමින්
වැඩිහිටි පිරිසක් ම සහාය දෙනවා. කොන්ද පණ
ඇති වැඩිහිටියන් ඇති අනාගතයක් ලෙසින් තමයි මෙය බහුතරය දකින්නේ.
ප්‍රශ්නයක මුලක් මැදක් අගක් හිතා ගන්න බැරි නොදරුවන්ගේ
හිත් වලට විස පුරවලා... වෛර කරන්න... රණ්ඩු කරන්න... අරගල කරන්න උගන්වලා...
අසාධාරණය මෙන්න මෙයා නිසා වුනා කියලා, රටේ පොදු දේපල වලට හානි කරමින් හඬමින් දෙස්
දෙවොල් තියමින් හැසිරෙන බව ඇතිව ඔවුන් කොන්ද පණ ඇති වැඩිහිටියෙක් වෙයි කියලා
හිතනවා නම්... ඒ මානසිකත්වය ගැන සැබැවින් ම විමසා බලන්න ම වේවි!
තමන්ගේ දරුව ගේ අතට තමන්ටත් තේරෙන්නේ නැති බෝඩ් එකක්
දෙන්න කලින් හිතන්න මේ රටේ ම කාලයක් තිබුනා තමන්ගෙ අයිතිය වෙනුවෙන් සටන් වදින්න
කියලා තුවක්කුවක් අතට ගත්ත ළමා සොල්දාදුවෝ හිටිය කාලයක්. ඉතින් තමන්ගේ දරුවන් ව වුනත් මේ විදියට යොදා
ගැනීමට කියන්නේ ළමා අපචාර කියලයි!
කවදා හරි තමන් ව එතැනට ඇදලා දාපු අම්මාට තාත්තට
වැඩිහිටියන්ට සාප කරන ඒ අයට ගහන්න බනින්න මරන්න දෙ පාරක් හිතන්නේ නැති
වැඩිහිටියෙක් කොන්ද පණ ඇති ප්‍රශ්න ගැන දැනුවත් සාර්ථක වැඩිහිටියෙක් කියලා හිතනවා
නම්... හිතෙනවා නම්... ඒ කරන දේ අගය කරනවා නම්... ඔබගේ වැඩිහිටි භාවයේත් ප්‍රශ්නයක්
තිබෙනවා නේදැයි විමසා බලන්න!
පුංචි දරුවෝ තමන්ට තේරෙන්නේ නැති ප්‍රශ්නයක බෝඩ් කෑලි
උස්සා ගෙන... බෝඩ් වල සටන් පාඨ ලියමින් ඉන්න පින්තූර ලෝකයක් එක්ක මහා වීරත්වයෙන්
බෙදා ගෙන සමාජ ජාලා අතර සංසරණය වෙන්න දීම සැබැවින් ම දෙමව්පියන්ගේ වැඩිහිටියන්ගෙන්
ඔවුන්ට ලැබෙන රැකවරණයක් දැයි විමසන්න!
සතුන් පවා යම් පොරයක දී මුලින් ම කරන්නේ තමන්ගේ පැටවුන්
ව හංගන එක. නමුත් මිනිසුන් වන ඔබ?
දන්නවා ද ඇත්තට ම කොන්ද පණ තියෙනවා ය කියන... සැබෑවට ම
ප්‍රශ්න වලට මුහුණ දෙන්න පුළුවන් මිනිස්සු කරන්නේ හදිසියේ වත් අරගලයක් සටනක් කරන්න
සිද්ධ වුණ වෙලාවට වැඩිම හානියක් වෙයි කියලා හිතෙන අයව ආරක්ෂිත තැන් වලට යොමු කරලා
“ඔයාල පැත්තකට වෙන්න මේ ප්‍රශ්නේ මම බලා ගන්නම්” කියලා කටයුතු කරන එක.
පුංචි දරුවන් වත් යොදා ගෙන යමෙක් යම් අයිතියක් උදෙසා කෑ මොර දෙනවා නම්... එයට කියන්නට සුදුසු හොඳම හැඳින්වීම ඔබගේ හදවතට ම දැනේවා! එවන් වැඩිහිටි පිරිසක් සෞභාග්‍යමත් රටක් ලෝකයක් සමාජයක් සකස් කරන එක ගැන නම් සැබැවින්ම ප්‍රශ්නාර්ථයක් තිබෙනවා!
අතිශයින් ම, අංශු මාත්‍ර හෝ දරුවන්ට සැබෑවට ම ආදරය
කරන... දරුවන්ගේ අනාගතය ගැන අවංකව ම හිතන... දරුවන්ට දරුවන් ලෙසින් සලකන දෙමව්පියන්
ඇතුළු නුවණක් ඇති වැඩිහිටියන් වෙතට පමණි!
මට බැන්නාට... දොස් නැගුවාට... අපහාස කලාට කම් නැත... ගැහුවත්... මැරුවත් කම් නැත... තමන්ගේ දරුවන්ව පවා තමන්ගේ වැඩිහිටි ප්‍රශ්න වලට යොදා ගන්නට තරම් මානසිකත්වය දුර්වල වූ මිනිසුන්ගෙන් යහපත් ප්‍රතිචාර බලාපොරොත්තු නොවෙමි!
එන්නම එන්නම වැඩිහිටියන්ගේ අවශ්‍යතාවයන් උදෙසා
තමන්ගේ දරුවන්ගේ මානසිකත්වය තබා කායික ආරක්ෂාව ගැනවත් හිතන්නේ නැතිව රැකවරණයක් ලබා
දෙන්නට ඉන්න වැඩිහිටියන් ම දෙමව්පියන් ගුරු භවතුන් ම ආඩම්බරයෙන් දරුවන් බිල්ලට දෙන
විට සැබැවින් ම LTTE වැනි ත්රස්තවාදයක්
වෙනස් ම මුහුණු වරකින් නැවත දැක ගන්නට ඇති සේ දුටිමි.
දැවෙන පොර කන මහ මිනිසුන් ගේ ගල් පහරකින් හෝ වේවා...
කඳුළු ගෑස් ප්‍රහාරයකින් හෝ වේවා... පොලු පහරකින් හෝ වේවා... ඔබගේ නොදරුවන්ට හානි
වුවහොත් දේශපාලනයට හෝ දේශපාලකයින්ගේ දරුවන්ට සාප තැබුවාට ඵලක් නැති වන බව ඔබගේ
අන්ධකාරයෙන් පිරුණු හදවත් වලට දැනේවා!
එදාට මගේ දරුවාට පෙළපාලියේ දී තමයි මේ හානිය වුනේ...
මාගේ දරුවා අරගලයේ දී මැරුණේ කියමින් හඬන විට ඔබව දැන් “වීර දෙමව්පියන්” ලෙසින්
අගය කරන ලෝකයා ම ඔබව මහා මෝඩයෙක් ලෙසින් හංවඩු ගසාවි!
එකිනෙකා මරා ගන්න මුරු ගසන් වරුසාව වහින කාලයට මේ දේවල්
කොතරම් කිව්වත්, අහන්නේ නැති ඇහෙන්නේ නැති බහුතරයක් ලෝකයේ සිටින බව තමයි සත්පුරුෂ
දහම් වල කියැවෙන්නේ.
නමුත් මේ වදන් පෙල සටහන් තැබුවේ ඔබගේ දරුවා වෙනුවෙන් ම බව ඔබට යම් දිනක වැටහේවි... වැටහේවා! යමක් වූ පසුව අනේ අපට අනතුරු අඟවන්නට කව්රුවත් හිටියේ නෑනේ කියලා හඬන්නට නොවෙන්නටයි මේ සටහන තැබුවේ!
පසු සටහන - මේ දේවල් තේරුම් ගන්නට ආගමික වෙන්නවත්... ආගමක්
දහමක් තියෙන්න ඕනෙවත් නෑ... මේ සාමාන්‍ය බුද්ධියෙන් දැකිය යුතු ප්‍රශ්නයක් බව නුවණැත්තෝ හඳුනා ගනිත්වා! තවත් දෙයක් මේ ලංකාවේ විතරක් ප්‍රශ්ණයක් නොවේ... ලෝකයේ ම දරුවන් ව මෙසේ අපචාරයට ලක් කරමින් වැඩිහිටියන්ගේ ඕනෑ එපාකම් වෙනුවෙන් යොදා ගැනීම රැල්ලක් බවට පත්වී තිබේ. ඔබත් ඒ රැල්ලට යන වැඩිහිටියෙක් වෙනවා දැයි නුවණින් විමසා බලන්න!
මේ කිසිවක් වෛරය පතුරුවා ගැනීමට නොවේ. යම් නොදැනුවත්ව හෝ වරදක් අඩුපාඩුවක් සිදුවෙනවා නම් එය සකසා ගැනීමට පමණි. මෙත් සිතින් සැම සත වෙත හැමදාම ගෞරවාදරයෙන් නමුත් කියන්නට ඇවැසි දේ මෙසේ කියමි!
2 comments:
තෙරුවන් සරණයි. බොහෝමත්ම පින් සිදුවේවා! ඇත්තටම කාලීන වැදගත්කමකින් යුත් මාතෘකාවක් ඔබ විසින් මතුකර පාඨක මනස අවධි කරවූවාට බොහෝමත්ම පින්. දරුවන් ඉදිරියට තබාගෙන ඔවුන්ගේ හෙට දවස වෙනුවෙන් කරන අරගලයක් ලෙස පෙන්වමින් සිදුකරන දෙයින් සැබෑවටම ඔවුන්ගේ හෙට දවස කෙසේවෙතත් අද දවස ඔවුන්ට නැතිවී යන සෙයක් මා හට පුද්ගලිකව හැගේ. මෙවන් කළහකාරී, ආවේගකර මෙන්ම අනතුරුදායක මොහොතකට දරුවන් නිරාවරණය කරවීමෙන්ම ඔවුන්ගේ කායික ආරක්ෂාව අනතුරට ලක්කරනවා මෙන්ම ඔවුන්ගේ මනස මෙවන් වටපිටාවකට නිරාවරණය කරවීමෙන් සාමකාමී, සරල, අවිහිංසාවාදී ළමා මනස ආවේගයන්ගෙන් පිරි කෘර තැනක් කරනවා යන්න මගේ අදහසයි. එමගින් ළමයින්ට ළමයෙක් වශයෙන් ජීවත්විය හැකි, ජීවත් විය යුතු ඔවුන්ගේ අද දවස ඔවුන්ට අහිමි කරනවා. දරුවන් සිටින පියෙක් වශයෙන් මමත් ආයාචනාත්මකව මෙය කියවන පාඨක ඔබෙන් ඉල්ලා සිටිනවා වැඩිහිටියන්ගේ ප්‍රශ්න කොන්දක් ඇති වැඩිහිටියෙක් වශයෙන් විසදා ගනිමින් දරුවන්ව දරුවන්ගේ ලෝකය තුල ආරක්ෂිතව තබන්නට ඔබ අපගේ වගකීම පමණක් ඉටුකරන ලෙස. ස්තූතියි!
100% එකඟයි රජිතා, අපි පොඩි කාලේ රටේ මොන කැරළි කෝලාහල තිබුනත් අම්මලා තාත්තලා අපිව මොන තරම් එවායින් ඈත් කරල තිබුනද කියල දැන් හිතෙනවා.
අද ඒ තත්වය නැහැ, මුරුගසන් වරුසාව වහින කාලෙට මිනිස්සු කොහොම වෙයිද කියල පොඩි අදහසක් ගන්න පුලුවන් මේව දැක්කම. හැකි උපරිමයෙන් ආර්ය අෂ්ටාංගික මග ගමන් කරන එක තමයි සුදුසු. තෙරුවන් සරණයි!
Post a Comment