නිර්වාණ ධර්ම බ්ලොග් අවකාශය | Nirvana Dhamma BLOG

About this Blog | මෙම බ්ලොග් අඩවිය ගැන...

"මෙය “නිර්වාණ ධර්ම“ වෙබ් අඩවියට සමගාමීව ඔබ වෙත ලබාදෙන බ්ලොග් අඩවියයි! මෙසේ අවස්ථාවන් රැසක් තුලින් සත්ධර්මය කැටිකොට ලබාදෙන්නේ අතිශයින්ම බුද්ධිමත් සැබෑම මිනිසුන් වෙත පමණයි! ඔබේ ආගම ජාතිය කුලය තත්ව තානාන්තරය කුමක් වුවත් සැබෑම මිනිසෙක් ලෙසින් ප්‍රයෝජනයට ගෙන යහපත, සැබෑ සතුට, සැනසීම උදාකරගැනීම පිණිස “නිර්වාණ ධර්ම“ වෙතින් වෙන් වන අවකාශයයි!“
"This is the BLOG of "Nirvana Dhamma" web site which is Strictly for Human beings only! No matter what your status in this world is, No matter what you believes on, No matter what your religion is, Only matter is that whether you are a human being or not to gain the maximum benefits through all these efforts!"

Tuesday, January 8, 2013

සිහියට සහ වීර්යට ඉඩක් දෙන්න! (කරුණාවමයි... 02 කොටස)

සම්බුද්ධ දේශනාවට අනුව සිහිය සහ වීර්ය කියන්නේ බොහෝම වැදගත් අංගයන් දෙකක්. තමන් කොතරම් ධර්මය දැනගත්තත් අවබෝධ කරගෙන සිටියත් ඒ ධර්මය නිසි ලෙසින් පිළිපැදීමට අවශ්‍ය කරන සිහිය නොතිබීම නිසාම ප්‍රමාද වෙනවා... සසරටම හේතු ඇතිවෙනවා. 

ඉතින් යමක් කියන්න කලින් කරන්න කලින් හිතලා බලන්න තමන්ට ඇතිවෙච්ච සිතිවිල්ල කුමන ආකාරයේ එකක්ද කියලා. තමන්වත් රාගයෙන් ද්වේශයෙන් මත්කරන තවත් කෙනෙක්වත් රාගයෙන් ද්වේශයෙන් මත්කරන අවිද්‍යාවෙන් මෝහයෙන් පිරුණු දෙයක්ද කියලා හිතලා බලන්න පුරුදු වෙන්න. මෙන්න මේ ගවේෂණය පිණිස තමන් තුල සිහියක් නැතිනම් ඒ සිහියෙන් ඉන්නට වීර්යයක් නැතිනම් කවදා නම් මේ සසර ගමන කෙලවර කරගන්නට හැකිවේවිදැයි සිතා බලන්න. සසර ගමන කෙලවර කරගැනීම තබා සතර අපායෙන්වත් නිදහසක් ලබාගන්නට හැකිවේවිදැයි සිතා බලන්න. සතර අපායෙන් නිදහස් වීම තබා මෙලොව ජීවිතයවත් සුවසේ ගත කරන්නට හැකිවේවි දැයි සිතා බලන්නකෝ. 

දස අකුසලයෙන් වෙන් වෙන්නට සිහියක් නැති සිතක් ඇත්තෙක් තමන් බුදු හිමියන් පෙන්වා දුන් මඟ යනවා යැයි කියන්නේ නම් තමන් කියන්නේ ගැලපෙන්නක්ද යැයි සිහියෙන් යුක්තව විමසා බැලිය යුතු වෙනවා. එහෙම නේද? 

ඉතින් දැන් ඔබට වයස කීයද? තවත් ජරාවට මහලු බවට නොහැකි නාකි බවට පත්වෙන්නට කලින් තීරණයක් ගන්නට සිතන්න... බෞද්ධයෙක්ද, ක්‍රිස්තියානිද, කතෝලිකද, ඉස්ලාම්ද, හින්දුද, භෞතිකවාදියෙක්ද මෙන්න මේ කුමන ලේබලයක් යටතේ ඔබ ඔබව හඳුනාගෙන සිටියත් ඉපදුනේ මනුස්සයෙක් වශයෙන්ම නම් වැඩෙන්නේ මනුස්සයෙක් ලෙසින් ලෙඩදුකට පත්වෙමින්, මානසික අසහනයන්, දුක සතුට ලබමින් නම්, තමන්ගේ කියන අයට හිරිහැරයක් කරදරයක් වෙනවාට අකමැත්තක් ඔබේ හිතට ඇතිවෙනවා නම් ඔබත් අන් අය සේම මරණයට පත්වෙනවා නම් එහෙනම් ලේබලය කුමක් වුවත් තම තමන්ගේ යහපත පිණිස ප්‍රවේශම් වීම වඩාත් සුදුසුයි නේදැයි කියලා හිතලා බැලීම වටිනවා. 

සම්මත දින නියමයන්ට අනුව තාම ජනවාරි මාසය ඉවර වෙලාත් නෑනේ. තව මාස 11යි මාස භාගයක් විතර තියෙනවා ඔබට ඔබගේ 2013 වසර කෙසේ ප්‍රතිඵල ගෙනදේවිදැයි තීරණයක් ගන්නට. 
සිහියෙන් හිටියොත් තමන්ටත් තමන්ගේ කියන අයටත් තමන්ගේ නොවන අයටත් යහපතක්ම වේවි. අසිහියෙන් සිටියොත් රාගයෙන් මත්වෙලා තමන්ටත් හානිවෙන තමන්ගේ අයටත් තමන්ගේ නොවන අයටත් හානිවෙන දූෂිතයන් බිහිවේවි, ද්වේශයෙන් මත්වෙලා තමන්ටත් හානිවෙන තමන්ගේ අයටත් තමන්ගේ නොවන අයටත් හානිවෙන ගැටුම්කරුවන් කලහකාරයින් මිනීමරුවන් බිහිවේවි... 
මේ දෙකම නැවැත්විය යුතුයැයි සිතාගෙන මේවාම අවුස්සා දමන මෝහ සහගත පිරිසකුත් බිහිවේවි. ඉතින් හිතන්න... දැන්වත් හිතන්න... මේ මොහොතේ මැරුණොත් ඔබට අරගෙන යන්නට තමන්වත්, තමන්ගේ යැයි කියන අයවත්, තමන්ගේ නොවන අයවත් නැතිබවත් මතක තියාගැනීම ඔබගේ වාසියටම ලාභයටම හේතුවේවි!!! 

රාගයෙන් මත්වෙන්නට ද්වේශයෙන් මත්වෙන්නට සිහියෙන් ඉන්නවා නම්... ඇස, කණ, දිව, නාසය, කය සහ මන යොමාගෙන ඒ ඒ දේ ඇසුරට පත්වෙන්නේ කොයි වෙලාවේදැයි සිහියෙන් ඉන්නවා නම් ඒ වෙනුවෙන් කාලය සොයාගෙන නැතිකාලය සකසාගෙන වීර්යයෙන් යුක්තව කටයුතු කරනවා නම් ඇයි මේ ඒවායෙන් මිදෙන්නට පමණක් කාලයක් නැත්තේ? සිහියක් නැත්තේ? වීර්යයක් නැත්තේ? කියලා හිතලා බලලා තමන්ට යහපතක් ගෙන දෙන ඒත් කරන්නට මඳක් අපහසු දේ කරන්නට නොහැකියාවක් තමන් තුල තියෙනවා නම් ඒ කෙරෙහි ලජ්ජාවට පත්වෙලා තමන්ගේ අඩුපාඩු සකසාගන්නට හැකි උපරිමයෙන් සිහිය වීර්ය වර්ධනය කරගන්නට ඔබට හැකිවිය යුතුයි. 

එසේ නොහැකි නම් ඔබගේත් මෙවන් වූ දෑ කිරීමට අපහසු තිරිසන් සතුන්ගේත් කිසිඳු වෙනසක් නෑ නේදැයි කියලත් හිතලා බැලුවොත් තමයි වඩාත් හොඳ... ඔන්න තිරිසන් සතෙක් කිව්වාය කියලා ගැටෙන්න නෙවේ මේ කියන්නේ... ඒ ගැන හිතලා බලන්නයි... ලැබී තියෙන මනුස්ස අත්බැවයෙන් කල යුත්ත කරගන්නට වෙහෙස වෙනවා නම් ඔබට ඔබේ ලෞකික ජීවිතයත් සුවසේ ගත කරන ගමන්ම සියලු දුක් කෙලවරකරගන්නටත් හැකියාවක් ලැබීම සිද්ධ වෙනවාමයි! 

2013 වසර නිවී සැනසීමට පත්වෙන මනසේ සාමය උදාකරගත හැකි වසරක් කරගැනීමට බුද්ධිමත් සැබෑම මිනිසුන් පමණක්ම වන ඔබට හැකිවෙත්වා!

No comments: