නිර්වාණ ධර්ම බ්ලොග් අවකාශය | Nirvana Dhamma BLOG

About this Blog | මෙම බ්ලොග් අඩවිය ගැන...

"මෙය “නිර්වාණ ධර්ම“ වෙබ් අඩවියට සමගාමීව ඔබ වෙත ලබාදෙන බ්ලොග් අඩවියයි! මෙසේ අවස්ථාවන් රැසක් තුලින් සත්ධර්මය කැටිකොට ලබාදෙන්නේ අතිශයින්ම බුද්ධිමත් සැබෑම මිනිසුන් වෙත පමණයි! ඔබේ ආගම ජාතිය කුලය තත්ව තානාන්තරය කුමක් වුවත් සැබෑම මිනිසෙක් ලෙසින් ප්‍රයෝජනයට ගෙන යහපත, සැබෑ සතුට, සැනසීම උදාකරගැනීම පිණිස “නිර්වාණ ධර්ම“ වෙතින් වෙන් වන අවකාශයයි!“
"This is the BLOG of "Nirvana Dhamma" web site which is Strictly for Human beings only! No matter what your status in this world is, No matter what you believes on, No matter what your religion is, Only matter is that whether you are a human being or not to gain the maximum benefits through all these efforts!"

Monday, June 11, 2018

තමන්ගෙන් අහන්න! (04 කොටස) - මුලින්ම පහර ශ්‍රද්ධා ඉන්ද්‍රියටද???

එහෙනම් ප්‍රවේශමෙන්!
මේ සමහර දේශනා අහන විට අසන්නට ලැබෙන ප්‍රකට කරුණක්... 
මෙකල බහුල දේශකයෝ... 

කියන්නෝ... 
“දැන් හොඳට බලන්න, බුදු පිළිමය කියන්නේ මොකක්ද? සිමෙන්ති ගල් වැලි වලින් එකතු වෙලා හැදුන සංඛතයක්. දැන් හොඳට බලන්න.. මෙච්චර කල් වැන්දේ කාටද?” 

අසන්නෝ... 
“සාධු සාධු අපේ හාමුදුරුවනේ අපිට පිස්සු නේද? දැන් තමයි අවබෝධයට පත්වුනේ... සිමෙන්ති ගල් වැලි වලට වැද වැද නිවන් හෙව්වනේ අපිත්... ඔබවහන්සේලා අපට මහා ආශිර්වාදයක්” 

තවත් විටෙක මෙසේද කියන්නෝ සිටිත්... 
“සිමෙන්ති ගොඩකට වැද වැද චෛත්‍ය කියලා මහා ලොකුවට හදාගෙන නිවන් හොයනවා... මෝඩ වෙන්න එපා... මල් වට්ටි වලට පන්න පන්න අත ගහ ගහා... පිරිකර පූජා කර කර නිවන් යන්න පුළුවන්ද? ඕවා මොන්ටිසෝරි වැඩ...” 

අසන්නෝ... 
“සාධු සාධු දේශකයාණෙනි, අපි වගේ මෝඩයෝ... ඔබවහන්සේලා වගේ උතුමන් පහල වුනේ නැතිනම් කොහොමද අපි මේ දේවල් දැනගන්නේ? ඔබවහන්සේලා අපට මහා ආශිර්වාදයක්” 

කියන්නෝ විටෙක මෙසේද කියති... 
“ඔය වගේ පූජා කරන්න වඳින්න කියලා බුදු හාමුදුරුවෝ කියලා නෑ... ත්‍රිපිටකයේ කොහෙද තියෙන්නේ? පෙන්වන්න බලන්න... (පෙන්වූ කල ඒවා පසුව එකතු කල දෑද යැයි කියති)... ඒ නිසා බුදු හාමුදුරුවෝ නොකියූ දහමක් කියන එක අදහමක් දහමක් විදියට පෙන්වා දීමක්... ඒ විදියට කලාම ආනන්තරීය පාපකර්මයක් වෙනවා... සංඝ භේද සූත්‍ර වල තියෙන්නේ... සංඝ භේදය කියන ආනන්තරීය පාප කර්මයන්ට අහුවෙනවා” 

අසන්නෝ... 
“සාධු සාධු අනේ අම්මෝ අපි බේරුන බේරිල්ලක්... මින් පස්සේ නම් ඔය මෝඩ වැඩ කරන්නේ නෑ... ඔබවහන්සේලා අපට මහා ආශිර්වාදයක්... ඔබවහන්සේ නම් රහතන්වහන්සේ කෙනෙක්ම තමයි” 

මේ ආකාරයෙන් කොතරම් නම් මෙකල සිද්ධ වෙනවාද?
විමසන්න... අහන්න තමන්ගෙන්ම...! 

ඇයි බුදු පිළිමයක්ම උපමාවට ගන්නේ... තමන් ආදරෙයන් ආශාවෙන් රැකගෙන ගෙදර ලස්සනට තියාගෙන ඉන්න වෙනත් පිළිම වර්ග ගන්නේ නැතිව ඇයි බුදු පිළිමයක්ම උපමාවට ගන්නේ? අහන්න තමන්ගෙන්ම...! නුවණින් විමසන්න... 

උදේ දිවා රෑ රැකගන්නට වෙහෙස වෙන ගල් වැලි සිමෙන්ති වලින් සකස් කල ගෙදර ගන්නේ නැතිව... ඇයි මේ ඉදලා හිටලා හෝ වදින්නට යන චෛත්‍යයක්ම උපමාවට ගන්නේ? අහන්න තමන්ගෙන්ම...!  නුවණින් විමසන්න... 

ප්‍රතිරූපකයා පැමිණෙන්නේ ධර්මය වැනි වූ දේ රැගෙනමයි. සංඛතය ගැන අනුමාන හෝ අදහසක් වේ නම් එවැන්නෙක් මේ ආකාරයෙන් ශ්‍රද්ධා ඉන්ද්‍රියට බලපෑම් කරන්නේ නෑ. ශ්‍රද්ධාව යනු ප්‍රඥාවත් සමඟ එකට බැඳුන කාරණයක්. එය නුවණින් විමසා අවබෝධ කරගත යුතුයි. 

“කියන්නෝ කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුුතුයි”. මේ දේ නොවන නිසාම මේ වන විට ප්‍රතිරූපක එන්නම එන්නම ප්‍රබල වෙමින් මග ඵල ලැබූවන් සේ හැසිරෙන පිරිස බහුල වෙමින් තිබෙනවා. තමන්ට අවංකවම නිවීමක් අවශ්‍ය වේ නම් මේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ ශ්‍රද්ධ, විරිය, සති, සමාධි, ප්‍රඥා බලයන්ගේ වැදගත්කම සහ ඒවා වැඩෙන ආකාරය අවබෝධ කරගත යුතු වෙනවා. සංඛතය පිළිබඳව අනුමාන හෝ ඥානයක් වේ නම් ඔය ආකාරයෙන් ඉහත කී ආකාරයේ කතාවන් ප්‍රකට කරන්නේ නෑ. 

අනවබෝධයෙන් යම් යම් ප්‍රකාශ කරන විට මේ කියන කාරණා ඉස්මතු වෙනවා. තම තමන්ගේ සිත් වල තිබෙන්නාවූ කෙලෙස් කහට නිසාම මේ දේවල් ඉතාමත් නිවැරදි බව තමයි දැනෙන්නේ. රාගයෙන් දැවි දැවී, ද්වේශයෙන් දැවී දැවී... විශේෂයෙන්ම මෝහය ගැන වගක්වත් නැතිව මුලින්ම අවබෝධ කරගත්තා යැයි සිතෙන්නේ බුදු පිළිමය සිමෙන්තියෙන් මැටියෙන් හැදූවක් බවත් එයට වන්දනා කිරීම මුලාවක් බවත්ය. හේතුව තමයි මේ ක්‍රියාවලියට තියෙන අලස බව... ශ්‍රද්ධා ඉන්ද්‍රියේ තිබෙන දුර්වල බව... මේ ක්‍රියාවන් තුල නිවෙන වැඩෙන ආකාරය දැනගන්නට සැබෑම පිරිසිදු සත්ධර්මයට කණ යොමු කරන්න. 

නිතර තමන් අසාගන්නා දේ තමන්ගේ දැනුමෙන් මනින්නේ නැතිව පෙර නොඇසූ විරූ තවමත් තමන් නොදුටු තථාගත සත්ධර්මය හඳුනාගන්නට යොමු කරන්නට. එවිට කවදාවත් වරදින්නේ නෑ. සත්ධර්ම ප්‍රතිරූපක හඳුනාගෙන කොතරම් උත්සාහ කලත් පරදන්නට නොහැකි ප්‍රතිරූපකයන්ගේ ප්‍රබල බව හඳුනාගෙන අප්‍රමාදී වීමට කටයුතු සම්පාදනය කරගන්න! 

අහන්න... තමන්ගෙන්ම... 
තෙරුවණේ අසිරිය හඳුනාගෙන අත්දැකගෙන සැනසෙන්න! 

No comments: