නිර්වාණ ධර්ම බ්ලොග් අවකාශය | Nirvana Dhamma BLOG

About this Blog | මෙම බ්ලොග් අඩවිය ගැන...

"මෙය “නිර්වාණ ධර්ම“ වෙබ් අඩවියට සමගාමීව ඔබ වෙත ලබාදෙන බ්ලොග් අඩවියයි! මෙසේ අවස්ථාවන් රැසක් තුලින් සත්ධර්මය කැටිකොට ලබාදෙන්නේ අතිශයින්ම බුද්ධිමත් සැබෑම මිනිසුන් වෙත පමණයි! ඔබේ ආගම ජාතිය කුලය තත්ව තානාන්තරය කුමක් වුවත් සැබෑම මිනිසෙක් ලෙසින් ප්‍රයෝජනයට ගෙන යහපත, සැබෑ සතුට, සැනසීම උදාකරගැනීම පිණිස “නිර්වාණ ධර්ම“ වෙතින් වෙන් වන අවකාශයයි!“
"This is the BLOG of "Nirvana Dhamma" web site which is Strictly for Human beings only! No matter what your status in this world is, No matter what you believes on, No matter what your religion is, Only matter is that whether you are a human being or not to gain the maximum benefits through all these efforts!"

Friday, May 1, 2020

අනන්ත හැකියාවන් අප්‍රකටව තබාගත් බුදුරඳුන්!


වෙසක් මාසය උතුම් වෙන්නේ තුන් ලෝකයට ම අග්‍ර වූ උතුම් සම්මා සම්බුදුරජාණන්වහන්සේලා මේ ලෝකයට පහළ වීම නිමිති කරගෙනයි. ඉතින් මේ සම්මා සම්බුදු පියාණන් වහන්සේලාගේ හැකියාවන්... ඥානයන්... ප්‍රාතිහාර්යයන් ආදිය ගැන මේ වන විට සමහර පිරිස් ප්‍රශ්න කරනවා. සැක කරනවා. ඒ අයට පිළිතුරු දීම අනවශ්‍ය කාරණයක් වුනත් විටෙක බුදු පියාණන් වහන්සේ විසින් ම මෙසේ සැක කරන්නවුන්ගේ සැක පහ වීම පිණිස යම් කාරණා කීපයක් ගෙන හැර දක්වමින් පෙන්වා දුන්න අවස්ථාවක් තිබෙනවා.

දීඝ නිකාය 3 - පාථික වග්ගය - 5. සම්පසාදනීය සූත්‍රය ඇසුරෙන් මේ ගැන විමසන්නට මෙවර කතු වැකිය වෙන් වෙනවා! 

අපේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ අසලට පැමිණි සැරියුත් මහ රහතන් වහන්සේ විටෙක මෙන්න මෙහෙම කියනවා. 

“භාග්‍යවතුන් වහන්ස, යම් සම්බෝධි ඥානයක් වේ නම් ඒ කෙරෙහි ඔබ වහන්සේට වඩා වැඩි තරම් නුවණ ඇති අන් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ පෙර හිටියෙත් නෑ... දැනුත් නෑ... අනාගතයෙහිත් නෑ... අන්න ඒ කාරණයෙන් ද මම ඔබ වහන්සේ කෙරෙහි පැහැදීමෙන් ඉන්නේ” කියලා කියනවා. 

මේ අවස්ථාවේ දී අපේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ විසින් අපේ සැරියුත් මහ රහතන් වහන්සේව වර්ණනා කරනවා. මේ විදියට සම්මා සම්බුදු පියාණන් වහන්සේලා ගැන ප්‍රකාශ කරලා සැරියුත් හිමියන් අභීත සිංහ නාදයක් පැවැත්වූවා කියලා උන් වහන්සේව අගය කරනවා. 

ඉතින් මේ කාලයේ ශාසනයට නොගැළපෙන ලෙසින් රහතන් වහන්සේලාගේ ස්වභාවය ගැන සමහර දේශකයාණන් වහන්සේලා තුල මෙන් ම දහම් අසන පිරිස් තුල ද විවිධාකාර මත තිබෙනවා. ඒ අතරින් රහතන් වහන්සේලා යනු සම්මා සම්බුදු පියාණන් වහන්සේලා වර්ණනා නොකරන... සම්මා සම්බුදු පියාණන් වහන්සේලා කියන පුද්ගලත්වයක් ගැන කතා නොකරන බුද්ධ ස්වභාවයක් පමණක් අත්දකින ඒ විශ්වීය ස්වභාවයක් ගැන කතා කරන පිරිසක් ලෙසින් මතයක් තියෙනවා. ඒ පිරිස් බොහෝ විට මෙවැනි සූත්‍ර දේශනාවන් ත්‍රිපිටකයේ ගද්‍ය සාහිත්‍ය ලෙසින් ප්‍රතික්ෂේප කරන ස්වභාවයක් ද පවතිනවා. ඉතින් ඔබත් මෙවැනි මතයකට පියවර තබමින් ඉන්න පුද්ගලයෙක් නම් මේ කරුණු කාරණා නුවණින් විමසා විවිධ මත දරන පුද්ගලයන් සරණ නො ගොස්, තමන් වැටෙන්නට යන අගාධයෙන් තමන් ව ගලවා ගන්නට කටයුතු කරන්නැයි මෙත් සිතින් සිහිපත් කරන්නට කැමතියි.

ඉතින් මේ සූත්‍ර දේශනාව තුල මෙතැන් පටන් ගෙන විස්තර වන්නේ සම්මා සම්බුදු පියාණන් වහන්සේලා තුල පවතින අසීමිත හැකියාවන්... ගුණස්කන්ධයන්... ආදිය ගැන සාරිපුත්ත මහ රහතන් වහන්සේට දැනෙන අයුරින් සිදු කරන විග්‍රහයක්... වර්ණනාවක්. 

සම්මා සම්බුදු පියාණන් වහන්සේලා තුල පවතින කුසල අකුසල දහම් කෙරෙහි, ඉන්ද්‍රිය ආයතන දහම් කෙරෙහි, සත්වයන් මව් කුස පිළිසිඳ ගන්නා ආකාර කෙරෙහි, ඕනෑම කෙනෙකුගේ සිත් සකස් වෙන ආකාරය කෙරෙහි, නොයෙක් ආකාරයේ දැහැන් සමාපත්ති සහ ඒවා තුල ලබන දර්ශන සමාපත්ති කෙරෙහි, පුද්ගල විවිධත්වය කෙරෙහි, බෝධි අංග ආදී දහම් කෙරෙහි, පටිපදා විවිධත්වය කෙරෙහි, සිත කය වචනයේ සීල සමාචාරය කෙරෙහි, සත්වයන්ගේ සංයෝජන ධර්මයන් කෙරෙහි, සත්වයාගේ උත්පත්ති ස්ථාන කෙරෙහි, ඕනෑම කෙනෙකුගේ විමුක්තියත් විමුක්ති ඥාන දර්ශන කෙරෙහි, සියලු වාද කෙරෙහි, පෙර අත්බැව් දක්නට හැකි ඥානයන් කෙරෙහි, මතු උත්පත්ති බලන්නට හැකි ඥානයන් කෙරෙහි, ශාසනික වූත්... ශාසනික නො වූත් යම් තාක් අභිඥා ඒර්ධි විෂයයන් කෙරෙහි...

ඉතින් කෙටියෙන් කියනවා නම් මේ තුන් ලෝකයේ ම දත යුතු සියල්ල කෙරෙහි අවබෝධයත් ඒවා යම් සත්වයෙකුට පහදා දෙන්නට ඇති හැකියාවත් ආදී සියල්ල අතින් සම්මා සම්බුදු පියාණන් වහන්සේලාට සම කරන්නට හැකි ශ්‍රමණයෙක් බ්‍රාහ්මණයෙක් මේ තුන් ලෝකයේ කොතැනක වත් නොමැති බව... පෙර සිටියේත් නැති බව... මතු පහලවන්නේත් නැති බව සැරියුත් හිමියන්ට දැනෙන පමණින් වර්ණනා කරමින් බුදු හිමියන් සමඟ පවසනවා.

ඒ වගේ ම තමයි සැරියුත් හිමියන් පවසනවා “එකවර සම්මා සම්බුදු පියවරුන් දෙදෙනෙක් මේ තුන් ලෝකයේ එකවර පහල වෙනවා ය... එකවර වැඩ වාසය කරනවා ය... කියලා යමක් කවදාවත් සිදු වන්නේ නෑ කියලා...”

ඉතින් මේ සාකච්ඡාවේ අවසානයේ දී මේ සාකච්ඡාව අසා ගෙන හිටිය උදායී නම් වූ හිමියන් මෙන්න මෙහෙම කියනවා...

“බුදු හිමියනි, තථාගතයන් වහන්සේලා මෙච්චර සෘද්ධි තිබිලත්... මෙච්චර තේජසක් තිබිලත්... මෙච්චර මහත් වූ ඥානයක් තිබිලත් ඒවා ප්‍රකට කරමින්... මට මේවා තියෙනවා අරවා තියෙනවා යැයි හැම තැනම නො කියමින්... අල්පේච්ඡ ව... සතුටින්.. කෙලෙස් රහිත ව වැඩ වාසය කරන ආකාරය නම් හරිම ආශ්චර්යයි... පුදුම සහගතයි... අපූරුයි... අද්භූතයි”

“උදායී, මෙයින් එක් කාරණාවක්... එක් දහමක් හෝ මාර්ග ඵල ආදිය ලබා ආර්ය භාවයට පත්නොවූ කාට හරි තියේ නම් ඒ තියෙන කෙනා කොඩි ඔසවා ගෙන, නුවර සිසාරා ඇවිදිමින් තමන්ට ඇති දේ ගැන ප්‍රකට කරනවා... එහෙත් සම්මා සම්බුදු තථාගතයන් වහන්සේලා එසේ කරන්නේ නෑ” යැයි එවිට අපේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ උදායී හිමියන්ට පවසනවා!

ඒ වගේම තමයි අපේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ සැරියුත් මහ රහතන් වහන්සේට පවසනවා;
“සාරිපුත්තයෙනි, මේ ධර්ම විග්‍රහය... මේ දහම් කරුණ... භික්ෂූන්ට... භික්ෂූණීන්ට... උපාසකයන්ට... උපාසිකාවන්ට... කියලා දෙන්න. යම් හිස් පුරුෂයෙකුට තථාගතයන් වහන්සේ කෙරෙහි සැකයක්.. විමතියක් හෝ තියේ නම් මේ කාරණා ඇසීමෙන් තථාගතයන් වහන්සේලා කෙරෙහි සැක පහව ගොස් ප්‍රසාදයට පත් වෙන්නට උපකාර වෙනවා” යැයි...

ඉතින් සම්මා සම්බුදු පියාණන් වහන්සේලාට සර්වඥතා ඥානයන් නෑ කියන... සෘද්ධි ප්‍රාතිහාර්ය හැකියාවන් නෑ කියන... බුද්ධ ශාසනය තේරුම් නොගත්... ශාස්තෘන් වහන්සේ තේරුම් නොගත්... ලාභ කීර්ති ප්‍රශංසා පිණිස දැන හෝ නො දැන තම තමන්ගේ දුර්මත ඉදිරිපත් කරමින් ශාසනයේ භික්ෂුවක් ය, භික්ෂුණියක් ය, උපාසකයෙක් ය, උපාසිකාවක් ය යැයි පවසන කෙනෙකුගේ ඒ මතකයකට රැවටී ඔබත් උත්තරීතර සම්මා සම්බුදු පියාණන් වහන්සේලාගේ දුර්ලභ බව නො දකින, ගුණ නො දකින පුද්ගලයෙක් බවට ඔබත් පත් වෙමින් සිටිනවා නම් මේ උතුම් “සම්පසාදනීය” වැනි සූත්‍ර දේශනාවන් විමසා බලන්නට යොමු වෙත්වා! 
මන්ද ශ්‍රද්ධා බීජයට හානි වූ කල වීර්ය, සති, සමාධි බලයන්ගෙන් යුතු මහා ප්‍රඥා රුකට දලු ලන්නට මුල් අඳින්නට තබා එවන් රුකක් යැයි යමක් විද්‍යාමාන වීම ද සිදු නොවනු ඇත. 

එසේ නම් මේ දහම් සිත ගැටුනු මොහොතක් වේ නම් එතැන් පටන්ගෙන උත්තරීතර තථාගතයන් වහන්සේලා ගැන තිබූ සියලු සැක සංකා පහව යත්වා! උතුම් සම්මා සම්බුද්ධ රත්නයටම නැමී තෙරුවනේ අනන්ත ආශිර්වාදයන් ලබත්වා! 
තම තමන්ට ඇති සුළු හැකියාවන්... දැනුම ආදිය පවා ප්‍රකට කරමින් කැපීී පෙනෙන්නට උත්සාහ නොදරමින්... අනන්ත හැකියාවන් සහ සියලු දේ පිළිබඳ ඥානයන් තිබුනද ඒ සියල්ල අප්‍රකටව තබාගත් නිහතමානී උත්තරීතර ගුණ දැරූ උතුම් තථාගතයන් වහන්සේලාගේ අඩිපාරේ යන සැබෑම ශ්‍රාවකයන් වන්නට අදිටන් කරගනිත්වා!!!

ප්‍රඥාවන්ත ව විවෘත මනසකින් විමසා අති දුලභ බුද්ධ ශාසනයෙන් නිසි මඟ නිසි ඵල ලබන්නට තෙරුවනේ ආශීර්වාදය අඛණ්ඩව ලැබේවා!!!

No comments: